(මහේෂ් කිර්තිරත්න)

වසර පහක් තිස්සේ විශ්‍රාම වැටුප් දෙපාර්තමෙන්තුවේ නිලධාරින් ලෙස ව්‍යාජ ලෙස පෙනි සිටිමින් රුපියල් කෝටි පහකට වැඩි මුදලක් වංචා කළ  බව කියන මහ මොළකරු සමග සැකකරුවන් සිව්දෙනෙකු අද (07) අත්අඩංගුවට ගත් බව මාතලේ කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යංශය කියයි.

“බෝඩිං තරංග” යන අනර්වර්ථ නමින් හදුන්වන ප්‍රධාන සැකකරු විසින් විශ්‍රාම ගොස් සිටින ගුරුවරුන් ඇතුලු රජයේ නිලධාරින්ගේ නිවෙස් වෙත ගොස් ඔවුන්ට හිග විශ්‍රාම වැටුප් සහ දිමනාවන් ලබා ගැනිම සදහා සහය විය හැකි බවට පවසා ඒ සදහා යම් මුදලක් ගෙවිමට සිදුවන බව පවසමින් එම පිරිස් නොමග යවමින් මෙම වංචාව සිදු කර ඇති බවද පොලිසිය කියයි.

සැකකරු විසින් අදාළ මුදල් ලබා ගැනිම සදහා යම් මුදලක් ගෙවිය යුතු බවත් ඒ සදහා මුදල් හෝ රන් භාණ්ඩවලින් අදාළ වටිනාකම් ගෙවිය හැකි බවට පවසා අදාළ විශ්‍රාමිකයින් සන්තකයේ ඇති රන් භාණ්ඩ කොල්ල කා ඇති බවද පොලිස් පරික්ෂණවලදි අනාවරණය වි තිබේ.

ප්‍රධාන සැකකරු සහ තවත් අයෙක් දිවුලපිටිය,බල්ලපාන ප්‍රදේශයේ පදිංචි අයෙකු බවත් අනෙක් සැකකරුවන් දෙදෙනා මිගමුව ප්‍රදේශයේ පදිංචි අය බවද පොලිසිය කියයි.

ප්‍රධාන සැකකරු  ප්‍රදේශයේ බෝඩිමක් පවත්වාගෙන යන අයෙකු බවත් ඔහු අධි සුඛෝපභෝගි ජිවිතයක් ගත කර ඇති අතර ඔහු ප්‍රදේශයේ මහා දානපතියකු ලෙස පෙනි සිටමින් මෙම වංචා සිදු කළ මුදල්වලින් ප්‍රදේශයේ විහාරස්ථානයක් වෙත රුපියල් ලක්ෂ 25ක් සහ ප්‍රදේශයේ වෙනත් සමාජිය කටයුතු වෙනුවෙන් අත දිගහැර මුදල් හා ද්‍රව්‍ය පරිත්‍යාග කරන අයෙකු බවට පරික්ෂණවලදි අනාවරණය වි තිබේ.