( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
විල්පත්තු ජාතික වනෝද්‍යානයට අයත් ප්‍රදේශයේ අවතැන්වූ පදිංචිකරුවන් පදිංචිව සිටින ප්‍රදේශ අතහැර නව ගැසට් පත්‍රයක් මගින් විල්පත්තු ජාතික වනෝද්‍යානයට අයත් නව මායිම් ප්‍රකාශයට පත් කරන බව නීතිපතිවරයා මෝසමක් මගින් අභියාචනාධිකරණයට අද (25) දැනුම් දුන්නේය.
නීතිපති වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ මනෝහර ජයසිංහ මහතා මෙසේ අධිකරණයට දැනුම් දුන්නේ විල්පත්තු ජාතික වනෝද්‍යානයේ අධිරක්ෂිතයට අයත් අක්කර දහස් ගණනක භූමි ප්‍රදේශයක් නීතිවිරෝධි ලෙස එළිපෙහෙළි කරමින් නැවත පදිංචි කිරීම් හා අනවසර ඉදිකිරීම් කරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලා පාරිසරික යුක්ති කේන්ද්‍රය ගොනු කර තිබූ රිට් පෙත්සම කැඳවූ අවස්ථාවේදීය.
මෙම රිට් පෙත්සම ජනක් ද සිල්වා සහ බන්දුල නිශ්ශංක කරුණාරත්න මහත්වරුන්ගේන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ සළකා බැලිණි.
මෙම පෙත්සම ඊයේ කැඳවූ අවස්ථාවේදී රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥවරයා කියා සිටියේ 2012 ඔක්තෝබර් 10 වැනි දා ප්‍රකාශ කළ අංක 1779 / 15 දරණ ගැසට් නිවේදනය ඉවත් කර අවතැන් වූ පදිංචිකරුවන් අතහැර විල්පත්තු රක්ෂිතයේ නව මායිම් සහිත ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත් කරන බවයි.
පාරිසරික යුක්ති කේන්ද්‍රය ගොනු කළ රිට් පෙත්සම වගඋත්තරකරුවන් වශයෙන් වනජීවී අධ්යක්ෂ ජනරාල් ,මධ්‍යම පරිසර අධිකාරිය, මන්නාරම දිස්ත්‍රික් ලේකම්, කර්මාන්ත හා වාණිජ අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, නීතිපතිවරයා ඇතුළු නම දෙනෙකු නම් කරනු ලැබ සිටිති.
ජාතික පාරිසරික පනත උල්ලංඝණය කරමින් විල්පත්තු වන රක්ෂිතයේ සිදු කෙරෙන මෙම එලිපෙහෙළි කිරීම් නිසි එම වන රක්ෂිතයේ ජෛව විවිධත්වයට දැඩි හානි සිදුව ඇතැයි පෙත්සම්කරු සිය පෙත්සමින් කියා සිටී.
ගොනු කර ඇති පෙත්සමේ මෙසේද සඳහන් විණි.
ලංකාවේ ජාතික වන උද්‍යාන වලින් එකක් වන විල්පත්තු වනයේ අධිරක්ෂිත කලාපයට අයත් අක්කර දහස් ගණනක් එළිපෙහෙළි කර නීතිවිරෝධි ලෙස පුද්ගලයින් පදිංචි කර තිබේ. වගඋත්තරකාර අමාත්‍ය අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ මැදිහත් වීමෙන් සිදු කෙරෙන මෙම නැවත පදිංචි කිරීම් යටතේ පවුල් 1500 ක් මේවන විට එම වනරක්ෂිතය තුළ නැවත පදිංචි කරවා ඇතැයිද පෙත්සමේ සඳහන් වේ.
මෙම නැවත පදිංචි කිරීම් ජාතින පාරිසරික පනත උල්ලංඝණය වන පවත්, වියළි කලාපයට අයත් භූමි ප්‍රදේශයක පිහිටා ඇති මෙම වන රක්ෂිතය මනුෂ්‍යය වාසයට නුසුදුසු භූමි ප්‍රදේශයක් යැයි ද පෙත්සම්කරු කියා සිටී.
පාරිසරික පනත හා පවතින නීතියට පටහැනි ලෙස සිදුකර මෙම වන එළිපෙහෙළි කිරිම් , නැවත පදිංචි කිරීම් හා අනවසර ඉදිකිරීම් කරන පුද්ගලයින්ට එරෙහි අදාළ නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසට දන්වමින් බලධාරීන්ට නියෝග නිකුත් කරන්නැයි පෙත්සම්කරු අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටී.
පෙත්සම්කාර ආයතනය වෙනුවෙන් නීතීඥ රවින්ද්‍රනාත් දාබරේ මහතා පෙනී සිටියේය.නීතිපති වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ මනෝහාර ජයසිංහ මහතා පෙනී සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙම කොහොමද? නීති විරෝධීව විල්පත්තුවට අයත් ප්‍රදේශවල පදිංචි කරලා ඉන්න අවතැන් වූවන් කියලා දේශපාලකයෝ වර්ග කරලා තියෙන මිනිසුන් ආපහු හිටපු තැන්වල පදිංචි කරලා බලහත්කාරයෙන් එළිකරපු විල්පත්තු ඉඩම් ටික නැවත විල්පත්තුවට අරන් දෙන්න ඕනේ. නීතිය ඒකයි. දකුණේ එහෙම ඔහොම එකක් කරා නම් ඔහොම රක්ෂිතයේ ඉඩම් ටික බලෙන් පදිංචි වුණු සිංහලයින්ට දෙනවද? අවතැන් වෙලා නම් නැවත පදිංචි කරන්න ඕනේ රක්ෂිත වනාන්තර වල කියල නීතියක් කොහෙද තියෙන්නේ? මේක කලිනුත් කිව්වා වෙන තැන්වල... ඔය අවතැන් වුනයි කියන මිනිස්සුන්ගේ පහුගිය අවුරුදු 10ක් පෙර පදිංචිය බලන්න ඕනේ ඉස්සෙල්ලා. විල්පත්තුවේ බලෙන් අයිති කරගත්ත ඉඩම් අයිති වෙන්න ඕනේ විල්පත්තු රක්ෂිතයට මිසක් මිනිස්සුන්ට නෙමෙයි.
හොඳ වැඩක්... වනාන්තර රැකගන්න එක අද වෙනකොට බොහෝ රටවල ඔක්සිජන් මුදලට ගන්න වෙලා මේ රටේ වනාන්තර රකින එක ආරක්ෂක හමුදාවලට දෙනවා නම් හොඳයි.
හිටපු ඇමතිතුමා කරණමක් ගහන්න වගේ ලැහැස්තිය...
මහින්ද සහ බැසිල් දීපු ටික ගෝඨා නීතිගත කළා... එජාපය පසුගිය කාලේ මඩ නෑවා...
එ්ක හොඳ අදහසක්. දැන් ඔය ඇමරිකානු ඩොලර් සමාගමට සින්නක්කර දුන් ඉඩම් එහෙමත් ගන්නවද? ඒ වගේම දකුණෙන් ගෙනිහිල්ලා මුලතිව් වන සංරක්ෂිතයේ පදිංචි කරපු අපේ සිංහල පවුල් එහෙමත් අයින් කරන්නේ නැහැ නේද? මහවැලියේ එහෙම පදිංචි කරපු දකුණේ සිංහල පවුල් එහෙමත් අයින් කරන්නේ නැහැ නේද?
මේ තීන්දුව දුන්නොත් ඒක සෑම ප්‍රදේශයකම බලපැවැත්වෙන තීන්දුවක් වෙනවා. එතකොට දැනටමත් බලහත්කාරයෙන් රක්ෂිත වනාන්තර, සංවේදී ජල පෝෂක සහ වැසි වනාන්තරවල අනවසරෙන් පදිංචිවෙලා ඉන්න ජාවාරම්කරුවන්ටත් පුළුවන් වෙයි ඔවුන්ගේ භුමිවලට නීත්‍යානුකූල අයිතියක් ගන්න. ඒ නිසා වහාම මේ ගැසට් එක අවලංගු කළ යුතුයි. විල්පත්තුවේ දැනට බලෙන් හා දේශපාලන අතපෙවීම් නිසා පදිංචිවෙලා ඉන්න අයට පුත්තලම වෙනත් ස්ථානයක මහල් නිවාස සංකීර්ණ තනා ඒවා ලබා දිය යුතුයි. එතෙක් මේ අයට ඔහොමම ඉන්න දීලා පසුව ඒ සියලුම අනවසර ඉදිකිරීම් කඩා ඉවත් කළ යුතුයි. ගෝඨාභය මහත්මයාගෙන් මේ විල්පත්තුව ජාතික සම්පත වෙනුවෙන් ගන්න ඉදිරි ක්‍රියාමාර්ග ගැන අපි විමසිල්ලෙන් ඉන්නවා.
මේක දේශපාලුවන්ගේ අදහසක්. ඔය අතරේ ඔය දූෂිතයින් තම තමන්ට අක්කර 10-15 වෙන්කර ගන්නවා.1970 කාලයේ ලක්ෂ්මන් ජයකොඩි ලොක්කත් ඔය දේම කළා සිංහරාජයේ. මගේ තාත්තටත් කීවා... ඔයත් අක්කර 10ක් විතර වෙන්කරගන්න කියලා. එ්ත් මගේ තාත්තා බොහොම කල්පනා කරලා එය ප්‍රතික්ෂේප කළා.. මේවා බොරු නොවෙයි... සාක්ෂි ඇතිව කියන ඒවා.
මෙය නොකළ යුතු දෙයක්. ඒ අනුව ඕනෑම රක්ෂිතයක් එළිකරලා මොනවා හරි බොරුවක් ගැහුවම රක්ෂිත මායිම් වෙනස් කරාවි. අනෙක මේ ඉන්නේ අවතැන් වූවන් නොවේ. මොවුන් සියල්ලටම ස්ථිර වාසස්ථාන තියෙනවා. මන්නාරම හරහා යන පුත්තලම පැත්තෙන් යන බස් අධ්‍යයනය කරන්න. ඔවුන් යන්නේ උදේට- හවසට ආපහු පුත්තලමට එනවා. ඡන්දෙ දින ඒක හොඳට පෙනුණා. පුත්තලමේ ඉඳන් මන්නාරම් යනවා ඡන්දෙ දාන්න.
නොකළ යුත්තක්...
ඕක ඉතින් නොදන්න දෙයක් නෙවෙයි. මම නම් දැනගෙන හිටියා ගෝඨා ආවත් ලොකු වෙනසක් වෙන්නේ නැති වෙයි කියලා. මම මේ පාර ඡන්දය දුන්නේ අඩුම නරක කෙනා තෝරලා මිසක්, හොදම කෙනා තෝරලා නෙවෙයි. සිංහල ඡන්ද වලින් කවුරු ආවත් වැඩක් නෑ,
මෙවන් තීරණ ගැනීම කිසිසේත්ම අනුමත කල නොහැක. එහෙනම් ලංකාවේ ඔක්කොම වනාන්තර ඉවත් කර මිනිස්සු පදිංචි කරමු. පය බරවායට පිටිකර බෙහෙත් බැන්දා වගේ.
අපේ රටේ හැමදාමත් සිද්ද වෙන එකම දේ තමයි දේශපාලන දුෂණ. එකම වෙනස පාට ... වරකට කොළ වරෙකට නිල්. දැන් අලුතෙන් කුරහන් පාටත් එකතු වෙලා... දුන්නනේ වෙනසක් ඉල්ලලා. දැන් ඉතින් සතුටින් භුක්ති විදින්නකෝ. වෙනස. අපි තව ටිකක් පහු වෙලා අහන්නම් "වෙනස සැප ද ...?? " කියලා.
2012 රට පාලනය කරපු කෙනා හිතාගෙන හිටියේ සල්ලි එනවනම් ඔක්කොම ආයෝජන තමා කියලා. දැන් පව් පින් වෙලා.