(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවකයන් වෙනුවෙන් අතිකාල දීමනා වශයෙන් රුපියල් කෝටි 1197 කට ආසන්න මුදලක් පසුගිය වසරේදී  ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ එහි  අලුත්ම  වාර්තාවක සඳහන් වේ.

එසේම අධිකාරියේ මෙහෙයුම් කටයුතු වෙනුවෙන් සෘජුව  සම්බන්ධතාවයක් නොදක්වන කොට්ඨාස දහයක සේවකයන් සඳහා  පමණක්  පසුගිය වසරේදී අතිකාල දීමනා වශයෙන් රුපියල් කෝටි 92 කට වැඩි මුදලක් ගෙවා ඇතැයිද  එම වාර්තාවේ  දැක්වේ.

මේ අතර තනතුරු 86 කට අදාලව අනුමත කාර්ය මණ්ඩලය ඉක්මවා සේවකයන් 914  දෙනකු සේවයේ යොදවා තිබුණද  අධිකාරියේ මෙහෙයුම් කටයුතු සඳහා සෘජුවම සම්බන්ධතාවක් දක්වන කොට්ඨාශයන්හි සේවකයන් 726 දෙනකුගේ පුරප්පාඩු පවතින බව විගණන නිලධාරීන්  නිරික්ෂණය කර ඇත.

මේ තොරතුරු සඳහන් වන්නේ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන  වාර්තාවේය.