(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානවලට අනුව පිහිටුවීමට නියමිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන් අද හෙටම පත්කිරීමට තීරණය කර ඇත. 

ඒ අනුව ඒ සඳහා පත් කෙරෙන  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නාමයෝජනා කඩිනමින් කතානායකවරයාට බාර දීමට  අග්‍රාමාත්‍යවරයා සහ විපක්ෂ නායකවරයා එකඟ වූහ.

එමෙන්ම,  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නොවන සාමාජිකයන් තිදෙනෙකු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සමාජිකයන් වශයෙන් තෝරා පත් කර ගැනිම සඳහා අයදුම්පත් කැඳවමින් පුවත්පත් දැන්වීමක් පළ කිරීමටත්  ඒ සඳහා අයදුම්පත් යොමු කිරිම සඳහා  සති 02ක කාලයක් ලබා දීමටත්  තීරණය කර ඇත.

ඒ අනුව, එම  දැන්වීම දිනපතා සහ සති අන්ත පුවත්වල පළ කෙරෙන අතර අයදුපතෙහි ආකෘතිය පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් කෙරෙනු ඇත.

විසි එක්  වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පිහිටුවීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා  රැස්වීම් දෙකක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්  පසුගිය 09 වැනිදා සහ ඊයේ (10 වැනිදා) පැවැත්විණ. මෙම තීරණය ගෙන ඇත්තේ එම රැස්වීමේදී ය.

ඒ රැස්වීමට අග්‍රාමාත්‍ය  දිනේෂ් ගුණවර්ධන,  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට  ජනාධිපතිවරයා විසින්  නම් කරන ලද නියොජිතයා වන අමාත්‍ය  නිමල් සිරිපාල ද සිල්වා යන මහත්වරුද  සහභාගී වූහ.