( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
 
අසත්‍ය චෝදනා ඉදිරිපත් කර රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීම නිසා සිදුවූ අපහාසයට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය  පොලිස්පති රවී වෛද්‍යලංකාර හා එම කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයාගෙන් රුපියල් කෝටි 5 බැගින් වන්දි අය කර දෙන ලෙස ඉල්ලා හිටපු ක‍්‍රීඩා අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් ගොනුකළ නඩුව ලබන 31 වැනිදා කැඳවීමට කොළඹ දිසා අධිකරණය අද (16)  තීන්දු කළේය.

 
මෙම නඩුව කොළඹ දිසා විනිසුරු අමාලි රණවීර මහත්මිය ඉදිරියේ අද (16) කැඳවනු ලැබීය.
 
එහිදී පැමිණිලි සහ විත්ති පාර්ශවයේ නීතිඥවරුන් විසින් නඩුවට අදාළ කරුණු ඉදිරිපත් කළ අතර නඩුවේ වැඩිදුර කරුණු සලකා බැලීම මෙම 31 වැනිදාට කල් තැබුණි.
 
පැමිණිලිකාර මහින්දානන්ද අලුත්ගමගේ මන්ත‍්‍රීවරයා සිය පැමිණිල්ලෙන් අධිකරණය හමුවේ කියා සිටින්නේ තමා ක‍්‍රීඩා අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ ක‍්‍රීඩා දෙපාර්තමේන්තුවට කැරම් බෝඩ් සහ දාම් ලෑලි මිලදී ගැනීමේ ක‍්‍රියාවලියේදී රජයට රුපියල් මිලියන 39ක පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය තමාට එරෙහිව විමර්ශනයක් ආරම්භ කළ බවයි.
 
මෙම විමර්ශන කටයුත්ත පොදු දේපල පනතට අදාළ නොවන බවට කොළඹ කොටුව එවකට මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය විසින් තීන්දු කර තිබියදී ඉකුත් වසරේ අපේ‍්‍රල් මස 16 වනදා වගඋත්තරකරුවන් තමාව එම පනත යටතේ අත්අඩංගුවට ගත් බවත් පසුව තමාව කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ බවත් පැමිණිලිකාර අලුත්ගමගේ මන්ත‍්‍රීවරයා කියා සිටියේය.
 
එහිදී අදාළ වරද පොදු දේපල පනතට අයත් නොවන බව තීන්දු කළ අධිකරණය තමන්ව රක්ෂිත බන්ධනාගාර ගත නොකර ඇප මත මුදා හළ බව ද ඔහු කියා සිටියේය.
 
මෙම වරද පොදු දේපල පනතට අදාළ නොවන බවට අධිකරණය මඟින් තීන්දු කර තිබියදී වගඋත්තරකාර පොලිස් නිලධාරීන් තමාව එම පනත යටතේ අත්අඩංගුවට ගනු ලැබුවේ ඇප ලබා නොදී රක්ෂිත බන්ධනාගාර ගත කිරීමේ චේතනාවෙන් බවත්,  ඒ තුළින් තමන්ට සිදුවූ අපහාසය වෙනුවෙන් එම නිලධාරීන් දෙදෙනාගෙන් රුපියල් කෝටි පහ බැගින් වන්දි අය කර දෙන ලෙසත් ඉල්ලමින් මහින්දානන්ද අලුත්ගමගේ මන්ත‍්‍රීවරයා කොළඹ දිසා අධිකරණයේ නඩුව පවරා ඇත.