(යොහාන් භාසුර)

පාර්ලිමේන්තුව තුළ යම්කිසි පක්‍ෂයකට බහුතර බලය ගතහැකි මැතිවරණ ක්‍රමයක් යටතේ විධායක බලතල ඉවත් කරන්නේ නම් එයට එකඟ බවත් එසේ නොකර විධායක බලතල ඉවත්කිරීම රටට හානිකර බෙදුම්වාදයට පාර කපන ක්‍රියාවක් බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, පාරිලිමේන්තු මන්ත්‍රී නීතිඥා සාගර කාරියවසම් මහතා අද (10) පැවසීය.

පූර්ණ බලතල සහිත ජනාධිපතිවරයෙක් ජනාතා ඡන්දයෙන් පත්වන තාක්කල් පළාත් සභා ක්‍රමයක් තුළ රට බෙදීමකට ලක්නොවන්නේ යැයි 13 වැනි සංශෝධනය ගෙන ආ අවස්ථාවේදී විශ්වාස කළ බවත් විධායක ජනාධිපවරයා සිටින තාක්කල් රටේ ඒකීයභාවට හානියක් නොවන්නේ යැයි තීරණය කළ බවත් කාරියවසම් මහතා කීය.  

යහපාලන ආන්ඩුව විධායක ජනාධිපතිවරයාගේ බලතල ඉවත්කිරීමෙන් රට විනාශයකට ඇඳවැටීමෙන් විනාශකාරී සිදුවීම් තුළින් රට අරාජික තත්වයට පත්වූ බව කී කාරියවසම් මහතා සඳහන් කළේ රටේ නායකයා කවුද යන්න ජනතාවට තේරුම් ගත නොහැකි තත්වයකට ද පත්වූ බවත්ය.  

රට විනාශ කිරීමට සහ අරාජික කිරීමට උත්සහ කරන පුද්ගලයන් විධායක ජනාධිපති ධුරය කැල්ලෙන් කැල්ල ගැලවීමේ උත්සහයක නිතරව සිටින බවත්  19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් සිදුවූයේ ද එයම බවත් නීතිඥා සාගර කාරියවසම් මහතා වැඩි දුරටත් කීය.

බෙත්තරමුල්ල, නෙළුම් මාවත පොදුජන පෙරමුණ පක්‍ෂ කාර්යාලයේදී අද (10) පැවැති මාධ්‍ය හමුවේදී සාගර කාරියවසම් මහතා එසේ පැවසීය.