(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

විදෙස් සේවා නියුක්ති කාර්යාංශයේ සිදුවී ඇතැයි කියන දූෂණ වංචා සහ අක්‍රමිකතා රැසක් සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප් කමිටුව) දැඩි අප්‍රසාදය පළවිය.

විදේශගත ශ්‍රමිකයන්ට රක්ෂණාවරණයක් ලබාදීමේදී සිදුවී ඇතැයි කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කමිටුව මෙහිදී විගණකාධිපතිවරයාට නිර්දේශ කළේය.

එමෙන්ම විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට රක්ෂණාවරණයක් ලබා දීමේ ක්‍රියා පිටිපාටිය පිළිබදව සංක්ෂිප්ත වාර්තාවක් මසක් ඇතුළත ඉදිරිපත් කරන ලෙස අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දුන්නේය.

මෙසේ උපදෙස් ලබා දුන්නේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ 2019 සහ 2020 වර්ෂවලට අදාළ විගණකාධිපති වාර්තා සහ වත්මන් කාර්යසාධනය පිළිබඳව කරුණු සලකා බැලුණු අවස්ථාවේදීය.

පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගිය 8 වෙනිදා රැස්විය.