(අංජුල මහික වීරරත්න)

රටට පුළුල් ලෙස සෘජු විදේශ ආයෝජන ආකර්ෂණය කරගැනීම සඳහා අවශ්‍ය සේවා අංශයෙහි ක්‍රමානුකූලව කළ යුතු ලිහිල් කිරිම් හා කලාපීය විස්තීර්ණ ආර්ථික හවුල්කාරිත්ව ගිවිසුමෙහි (RCEP) සාමාජිකත්වය ලබා ගැනීමට කටයුතු කිරීමේ අවශ්‍යතාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජාතික වෙළෙඳ සාකච්ඡා කමිටුවෙහි නිලධාරීන් අතර හමුවක් ජනාධිපති කාර්යාලයේ දි පැවැත්වුණු අතර එහිදී ජනාධිපතිවරයා මෙම කරුණු පෙන්වා දුන්නේය.

නිදහස් වෙළෙඳ සාකච්ඡා මෙන්ම ජාත්‍යන්තර වෙළෙඳාම අරබයා වන ඉදිරි දැක්ම සහ ඊට අදාළව ප්‍රතිපත්තිමය ප්‍රමුඛතා පෙළගැස්විය යුතු ආකාරය පිළිබඳ එහිදී ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.