(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

විදුලිය බිල වැඩි කිරීම සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලය සහ මහජන උපයෝගීතා කොමිෂන් සභාව අතර පැවැත්වුණු සාකච්ඡාව එකඟත්වයෙන් තොරව අවසන්වූ බව එම ආයතන ප්‍රධානීහු  ජාතික සභාවට අද (14) දැනුම් දුන්හ.

විදුලිය බිල සම්බන්ධයෙන් සාකච්ඡා කර පැහැදිලි තීරණයකට එන්නැයි  ජාතික සභාව විදුලිය බල මණ්ඩලයට සහ මහජන උපයෝගීතා කොමිෂන් සභාවට ඊයේ (13) දැනුම් දුන්නේය.

දෙපාර්ශවය අතර විදුලි බිල සම්බන්ධයෙන් සාකච්ඡාව පැවැත්වුණේ ඒ අනුවය.

මෙහිදී අදහස් දැක්වූ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසූවේ විදුලිබිල සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ තීරණය හෙට (15) ලබාදෙනු ඇතැයි තමා බලාපොරොත්තු වන බවයි.

මෙම සාකච්ඡාවට අමාත්‍යවරුන්වන කංචන විජේසේකර,  ටිරාන් අලස්, රාජ්‍ය අමාත්‍යවරුන්වන  ඩී.වී. චානක, ඉන්දික අනුරුද්ධ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන පාඨලී චම්පික රණවක සහ  සාගර කාරියවසම්, පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ඇතුළු පිරිසක්ද සහභාගී වූහ.