(රංජන් කස්තුරි)

කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද වෛද්‍ය මොහොමඩ් ෂාෆි මහතා සම්බන්ධයෙන් අද (27) පස්වරුව වන තෙක් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට කිසිඳු පැමිණිල්ලක් ලැබී නැතැයි එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් ලංකාදීපයට පැවැසීය.

වෛද්‍යවරයෙකු සිය වෘත්තීය කටයුතු  වලදී සිදුකරන වැරදි හා රෝගීන්ට සිදුවන අසාධාරණකම් සම්බන්ධයෙන් රෝගීන්ට අවශ්‍ය ඕනෑම විටක ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට ලිඛිතව පැමිණිලි කළ හැකි බවද ඔහු කීය.

පැමිණිලිකරුගේ අනන්‍යතාවය තහවුරු කරගත හැකි තොරතුරු ඇතුළුව කිසියම් රෝගියෙකු ඉදිරිපත් කරන පැමිණිලි පළමුව මූලික කම්ටුවකින් විමර්ශණය කරන අතර එහිදී පැමිණිලිකරුවන් හා චෝදනාලැබූවන්ගෙන් කට උත්තර ගැනීම, සාක්ෂි ලබාගැනීම ආදිය එහිදී සිදුකරන බවද ඔහු පැවැසීය.