(ඩයනා උදයංගනී)

දරුවන්ගේ මන්දපෝෂණ තත්වය පිළිබඳව රටට හෙළි කළ වෛද්‍ය චමල් සංජිව මහතාගේ වැඩ තහනම් කිරීම වහාම හකුලා නොගහොත් ඉදිරියේදී සෞඛ්‍ය ලේකම්වරයාට වෛද්‍ය වෘත්තිකයන්ගේ සහය අහිමි වනු ඇතැයි වෛද්‍ය සංගම් පවසයි.

වැටුප ගෙන නිවසට වී නොසිට රට හදන්නට යාම නිසා දේශපාලන අධිකාරිය ඔහු වරදකරුවෙක් කර ඇති බවත්, මෙම වැඩ තහනම් කිරීම ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය අහිමි කරන මර්දනකාරී වැඩපිළිවෙලේම කොටසක් බවත්, වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සංධානයේ ලේකම් වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පැවසීය.

වෛද්‍යවරයා මේ බව පැවසුවේ වෛද්‍ය සංගම් කිහිපයක් එක්ව ‘වෘත්තීය අයිතිවාසිකම් ආරක්ෂා කරනු‘ මැයෙන් කොළඹ දී ඊයේ (10) පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමිනි.

ක්‍රමවේද වෙනසක් සඳහා වූ වෛද්‍ය වෘත්තිකයන්ගේ සංගමයේ අජිත් අමරතුංග මහතා මෙහිදී පැවසුවේ වෛද්‍ය චමල් සංජිව මහතා සුරියවැව ප්‍රදේශයේ දරුවන්ගෙන් සියයට 80 ක් මන්දපෝෂණයෙන් පෙලෙන බව පැවසීම සාවද්‍ය කරුණක් ලෙස දක්වමින් ඔහුගේ වැඩ තහනම් කර ඇති බවත්, ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකර ඇති බව වැඩ තහනම් ලිපියේ දක්වා ඇතත්, එවැනි පරීක්‍ෂණයක් ගැන වෛද්‍යවරුන්වත් නොදන්නා බවය.

සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා මෙහිදී පැවසුවේ සෞඛ්‍ය ලේකම්වරයා මෙම වැඩ තහනම් කිරීම වහාම හකුලා ගත යුතු බවත්, එසේ නොකළොත් ඉදිරියේදී ඔහුට සහයට සිටින බව පෙන්වන දේශපාලඥයන් මෙන්ම වෛද්‍ය වෘත්තිකයන්ගේ සහයද අහිමි වනු ඇති බවත්ය.

එමෙන්ම මෙම වැඩ තහනම් කිරීම මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මෙන්ම, 2015 දී නිකුත් කල වෛද්‍ය සේවා ව්‍යවස්ථාව හා 1935 නිකුත්කළ වෘත්තීය සමිති ආඥා පනතද උල්ලංඝනය කර ඇතැයි ඔහු කීවේය.