(අංජුල මහික වීරරත්න)

මහ කන්නයේ කාබනික පොහොර සැපයීමේ දී තත්ත්වයෙන් බාල කාබනික පොහොර සැපයීමට පියවර නොගන්නා ලෙසත් යම් හෙයකින් සමාගමක් තත්ත්වයෙන් බාල කාබනික පො‌හොර සැපයුවහොත් එවැනි සමාගම් අසාදු ලේඛන ගත කිරීමට සහ ඔවුන්ට කිසිදු ගෙවීමක් නොකිරීමටත් පියවර ගන්නා බව කෘෂිකර්ම, වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

සියලුම කාබනික පොහොර නිෂ්පාදන සමාගම් කෘෂිකර්ම අමාත්‍යාංශයට කැඳවා මෙවර මහ කන්නයේ දී කාබනික පොහොර සැපයීමේ වැඩ පිළිවෙළ පිළිබඳව අමාත්‍යවරයා සාකච්ඡා කළ අතර එම සාකච්ඡාවෙිදී තීරණ කිහිපයක් ගනු ලැබිණි.

කාබනික පොහොර නිකුත් කිරීමේ දී දැනට සමාගම් 10කට පොහොර ලේකම් කාර්යාලය අනුමැතිය දී තිබෙන අතර අනෙකුත් සමාගම් ද තම නිෂ්පාදන සම්බන්ධව ජාතික පොහොර ලේකම් කාර්යාලයේ තත්ත්ව සහතික ලබා ගැනීම කඩිනම් කිරීම ,කාබනික පොහොරවල ගුණාත්මකභාවය තහවුරු කිරීම සඳහා සෑම දිස්ත්‍රික්කයකම දිසාපතිවරයාගේ සභාපතිත්වයෙන් කමිටු පත් කිරීම සහ ඊට ගොවි නියෝජිතයින් ද ඇතුළත් කිරීම,කාබනික පොහොර ගොවි ජන මධ්‍යස්ථාන මගින් බෙදා දීමේ දී සෑම පොහොර වර්ගයකම සාම්පල තුනක් පරීක්ෂාවට ලක් කිරීමට ජාතික පොහොර ලේකම් කාර්යාලය විසින් කිරීම, කිසියම් සමාගමක කාබනික පොහොර තත්ත්වයෙන් බාල බව සනාථ වුවහොත් එම සමාගම අසාදුලේඛන ගත කිරීමටත්, එතෙක් කාබනික පොහොර අලෙවි කර ඇත්නම් ඒවා සඳහා කිසිදු මුදලක් නොගෙවීමටත් තීරණය කිරීම,කාබනික පොහොර අදාල ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත බෙදා හැරීම මෙන්ම ඒවා ගොවීන් වෙත ප්‍රචලිත කිරීමේ වගකීම අදාල නිෂ්පාදන සමාගම් විසින් කිරීම, අවශ්‍ය කාබනික පොහොර තෝරා ගැනීමේ වගකීම ගොවි ජනතාව වෙත පැවරීම,කාබනික පොහොර මිල දී ගැනීම සඳහා සියයට 50ක සහනාධාරයක් හෙවත් අඩුම තරමින් රුපියල් 20,000ක මුදලක් රජය විසින් ගොවි ජනතාවට සැපයීම අදාල තීන්දු වෙි.