(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලාංකිකයන්ට තායිලන්තයේ රැකියා අවස්ථා 10,000ක් දක්වා ලබාදීම සඳහා වන නව අවබෝධතා ගිවිසුම් දෙකකට ශ්‍රී ලංකාව සහ තායිලන්තය පසුගියදා අත්සන් තැබුවේය.

තායිලන්තයේ බැංකොක් නුවරදී විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ තායිලන්ත කම්කරු අමාත්‍ය ජුලපන් අමෝර්න්විවාට් මහතා මෙම ගිවිසුම්වලට අත්සන් තබා ඇත. තායිලන්තයේ ශ්‍රී ලාංකිකයන් රැකියා සඳහා බඳවා ගැනීම සහ සේවයේ යෙදවීම සඳහා නීත්‍යනුකූල හා විධිමත් ක්‍රමවේදයක් මෙම ගිවිසුම් මගින් සකස් කර ඇත.

එමෙන්ම තායිලන්තයේ රැකියා කරන ශ්‍රී ලාංකිකයන්ගේ අයිතිවාසිකම්, සුබසාධනය සහ ආරක්ෂාව තහවුරු කිරීම සඳහාද මෙම ගිවිසුම් මගින් පියවර ගෙන ඇත. විදේශ රැකියා අවස්ථා වැඩි කිරීමේදී ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, සාධාරණ ලෙස රැකියා සඳහා බඳවා ගැනීම සහ යහපත් සේවා කොන්දේසි ලබාදීම අත්‍යවශ්‍ය බව අමාත්‍ය විජිත හේරත් මහතා එහිදී අදහස් දක්වමින් පවසා තිබිණි.

එමෙන්ම තායිලන්තයේ තොරතුරු තාක්ෂණ, සංචාරක, හෝටල්, තාක්ෂණික සහ අනෙකුත් පුහුණු රැකියා සඳහා ශ්‍රී ලාංකික තරුණයන්ට ලබාදෙන අවස්ථා ඉහළ දමන ලෙසද අමාත්‍යවරයා තායිලන්ත කම්කරු අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර ඇත. මෙම ගිවිසුම් යටතේ තායිලන්තයේ සේවය කරන ශ්‍රී ලාංකිකයන්ට එරට කම්කරු නීති යටතේ එරට සේවකයන්ට හිමි වන අයිතිවාසිකම් සහ ආරක්ෂාව හිමිවන බව තායිලන්ත කම්කරු අමාත්‍යවරයා පවසා ඇත.

ඒ අනුව නීතියෙන් නියම කර ඇති වැටුප්, සේවක ප්‍රතිලාභ සහ සෞඛ්‍ය පහසුකම් ඇතුළු හිමිකම් ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ටද හිමිවන බව තායිලන්ත කම්කරු අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

මෙම ගිවිසුම් මගින් ශ්‍රී ලාංකිකයන්ට විදේශ රැකියා ලබාගැනීමට ඇති රටවල් සංඛ්‍යාව වැඩි කිරීමටත්, පුහුණු ශ්‍රමිකයන්ට හොඳ රැකියා අවස්ථා ලබාදීමටත් හැකි වනු ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. කෙසේ වෙතත් රැකියා 10,000 එකවර ශ්‍රී ලංකාවට හිමි නොවන අතර එය පියවරෙන් පියවර ක්‍රමානුකූලව මෙරටට ලැබෙනු ඇත.