(අංජුල මහික වීරරත්න)

දිවයින පුරා පිහිටි ආකර්ෂණීය සංචාරක ස්ථාන  නාගරික සංවර්ධන අධිකාරිය සහ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සමඟ එක්ව සංවර්ධනය කරන බව  නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

නාගරික සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සමඟ එක්ව ඇල්ල, ආරුගම්බේ, නුවරඑළිය,කල්පිටිය සහ හික්කඩුව යන නාගරික ප්‍රදේශ සඳහා සංචාරක සංවර්ධන සැලසුම් සකස් කිරීමට දැනටමත් පියවර ගෙන තිබේ.

ඒ අතරින් ඇල්ල සංචාරක සැලැස්ම දැනටමත් ගැසට්කර මගින් ප්‍රකාශයට පත්කර තිබෙන අතර ආරුගම්බේ, කල්පිටිය, හික්කඩුව හා නුවරඑළිය සංචාරක සංවර්ධන සැලසුම් සකස් කිරීම අවසන් අදියරේ පවතින බව නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව විසින් මුළු දිවයිනම ආවරණය වන පරිදි වෙරළ තීරය ආශ්‍රිතව ග⁣⁣ඟේ වාඩිය, සීතගල්ල, නයාරු බීච්,ගවනර් ඔෆිස්, වයික්කාල, සම්පල්තිව් බීච් ඇතුළු අලුතින් සංචාරක ස්ථාන 24 ක් හඳුනා ගෙන තිබේ. මෙම ස්ථාන සංවර්ධනය කිරීම සඳහා ද නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ විශේෂ අවධානය යොමු ව ඇත.

මෙම සංචාරක ස්ථාන පිළිබඳව දෙස් විදෙස් සංචාරකයන් දැනුවත් කිරීම සඳහා ඉදිරියේ දී රාජ්‍ය හා පෞද්ගලික  අංශ මෙන්ම තානාපති කාර්යාල ද, සම්බන්ධ කරගනිමින් විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව ද ඇමතිවරයා කියයි.