IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ලොව පුරා තාක්ෂණික බිද වැටීම්

(විමුක්ති එස් රුද්‍රිගු)

මෙතෙක් වාර්තාවූ ලොව ප්‍රබලතම තොරතුරු තාක්ෂණ බිඳ වැටීම සිදුවූ අතර ක්‍රවුඩ්ස්ට්‍රයික් නම් අන්තර්ජාල ආරක්ෂණ මෘදුකාංග සපයන සමාගම එහි වගකීම බාර ගත්තේය.

ලොව පුරා වින්ඩෝස් 10 මෙහෙයුම් පද්ධතිය භාවිත කරන රෝහල්, ගුවන් තොටුපොළවල්, බැංකු, දුරකතන සේවා සපයන සමාගම්, මාධ්‍ය ආයතන, පොලිසිය, දුම්රිය ඇතුළු බොහෝ සේවා ස්ථානවල පරිගණක පද්ධතීන් හදිසියේ බිඳ වැටීම හේතුවෙන් මෙම තොරතුරු තාක්ෂණ බිඳ වැටීම සිදුවූ අතර ඉන් සේවා රැසක් අඩපණ වූවේය.

බිඳ වැටීම හේතුවෙන් ඇමෙරිකානු කොටස් වෙළඳපොළද බිඳ වැටුණු අතර ඇතැම් රටවල්වල විද්‍යුත් නාලිකාවල ප්‍රවෘත්ති විකාශයන්ද අතරමග නතර විය.

පරිගණක ලෝකය තුළ "බ්ලූ ස්ක්‍රීන් ඔෆ් ඩෙත්" ලෙස හැඳින්වෙන මෙම දෝෂය නිසා වින්ඩෝස් 10 මෙහෙයුම් පද්ධතිය තිබෙන පරිගණක පද්ධතීන් ලොව පුරා බිඳ වැටුණේය."බ්ලූ ස්ක්‍රීන් ඔෆ් ඩෙත්" දෝෂය හටගත් විට පරිගණකයට මෙහෙයුම් පද්ධතිය ආරම්භ කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැත.

ලොව පුරා වින්ඩෝස් 10 මෙහෙයුම් පද්ධතිය භාවිත කරන පරිගණක පද්ධතීන් බිඳ වැටීමත් සමඟ ක්‍රවුඩ්ස්ට්‍රයික් අන්තර්ජාල ආරක්ෂණ මෘදුකාංග සමාගම ඒ පිළිබඳ විමර්ශනයක් ආරම්භ කළ අතර එම විමර්ශනයේදී "බ්ලූ ස්ක්‍රීන් ඔෆ් ඩෙත්" දෝෂය හට ගැනීමට හේතුවී ඇත්තේ සයිබර් ප්‍රහාරයක් හේතුවෙන් නොවන බවට හෙළි විය. එයට හේතුවවී ඇත්තේ ඔවුන්ගේම ආරක්ෂණ මෘදුකාංගය සඳහා ලබාදුන් යාවත්කාලීන කිරීමක් බව ක්‍රවුඩ්ස්ට්‍රයික් සමාගම අනාවරණය කළේය.

ක්‍රවුඩ්ස්ට්‍රයික් යනු සේවා ස්ථානවල පරිගණක පද්ධතීන් සඳහා ආරක්ෂණ මෘදුකාංග ලබාදෙන සමාගමකි.

තාක්ෂණික බිඳ වැටීම හේතුවෙන් ලොව පුරා ගුවන් ගමන් 1000 ක් පමණ අවලංගු වූ අතර බොහෝ ගුවන් ගමන් ප්‍රමාද විය. ලොව කාර්ය බහුලම ගුවන් තොටුපොළවල්වලින් එකක් වූ හාර්ට්ෆීල්ඩ් ජැක්සන් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ මගීන් පරික්ෂා කරනු ලබන ස්වයංක්‍රිය පද්ධතියද මෙම බිඳ වැටීම හේතුවෙන් ක්‍රියා විරහිත වූ අතර එම ගුවන් තොටුපොළට පැමිණි මගීන් ලක්ෂයකට වඩා වැඩි පිරිසක් වරකට එක් අයකු බැගින් යන්ත්‍ර නොමැතිව පරික්ෂා කිරීමට ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන්ට සිදුවිය.

මගීන් කලබල වීම හේතුවෙන් බොහෝ ගුවන් තොටුපොළවල් මගීන්ට ඉවසීමෙන් සහ සන්සුන්ව කටයුතු කරන ලෙස කාරුණික ඉල්ලීමක් නිකුත් කිරීමටද අමතක නොකළේය.

ගුවන් තොටුපොළ සේවා පමණක් නොව වෛද්‍ය සේවා, ගමනාගමන සේවා සහ පොලිස් සේවා වලටද මෙම තොරතුරු තාක්ෂණ බිඳ වැටීම බලපෑ අතර මේ හේතුවෙන් ලෝකයේ බොහෝ රටවල රාජකාරී කටයුතු රැසක් අඩපණ වූවේය. දෝෂය හඳුනාගෙන ඊට පිළියම් යෙදීමට මයික්‍රොසොෆ්ට් සමාගම සහ ක්‍රවුඩ්ස්ට්‍රයික් ආරම්භ කර තිබිණි.

මින් වැඩිම බලපෑමක් එල්ලවූ රටවල් අතර ඇමෙරිකාව, එක්සත් රාජධානිය, ඔස්ට්‍රේලියාව සහ ජපානය විය. යුරෝපයටද මින් විශාල බලපෑමක් එල්ල විය. ඇමෙරිකාවේ රෝහල් කීපයක සේවා මෙම බිඳ වැටීම හේතුවෙන් අඩපණ වූ බවට එරට මාධ්‍ය වාර්තා කළේය.   



අදහස් (0)

ලොව පුරා තාක්ෂණික බිද වැටීම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 583 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 286 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1088 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site