(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
ලබන වසර (2023) සඳහාවූ රජයේ අයවැය ලේඛනය ( අයවැය විසර්ජන පනත් කෙටුම්පත ) පාර්ලිමේන්තුවේදී අද (8) වැඩි ඡන්ද 43 කින් සම්මතවිය.
පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 123 ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 80 ක් පමණි.
සමගි ජන බලවේගය පක්ෂය, ජාතික ජන බලවේගය පක්ෂය,දෙමළ ජාතික සන්ධානය යනාදී දේශපාලන පක්ෂවල මන්ත්‍රීවරු පනතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ. මන්ත්‍රීවරු දෙදෙනෙක් ඡන්දය දීමෙන් වැළකී සිටියහ. සී.වී විග්නේෂ්වරන් සහ වේලු කුමාර්එ එම මන්ත්‍රීවරුන් දෙදෙනාය.
පනත් කෙටුම්පතට විරුද්ධ හෙයින් ඡන්ද විමසීමක් අවශ්‍ය බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මුලසුනෙන් ඉල්ලා සිටියේය. ඡන්ද විමසීම පැවැත්වුණේ ඒ අනුවය.
මුදල් අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදය පාර්ලිමේන්තුවේදී ඊයේ(8) දවස පුරා පැවැත්විණ. අයවැය විවාදය පස්වරු 6.50 ට පමණ අවසන් වූ අතර අවසාන ඡන්ද විමසීම පැවැත්වුණේ ඉන් අනතුරුවය.
අයවැය විසර්ජන පනත් කෙටුම්පත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවට පසුගිය නොවැම්බර් මස 14 වැනිදා ඉදිරිපත් කරනු ලැබීය.
ඉන් පසු අයවැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම නොවැම්බර් මස 15 වැනිදා ආරම්භවී එම මස 22 වැනිදා දක්වා දින හතක කාලයක් පැවැත්විණ.
අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් 23 වෙනිදා ආරම්භවූ අතර විවාදය ඊයේ දක්වා දින 13 ක් පැවැත්වුණේය.
ඒ අනුව අයවැය විවාදය පැවැත් වුණු මුළු දින ගණන 20කි.
අයවැය අවසාන ඡන්ද විමසීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ සහ ඒ අවට ප්‍රදේශවල ආරක්ෂක විධිවිධාන ඊයේ දැඩි කර තිබෙනු දැකගත හැකිවිය.
COMMENTS
පොහොට්ටුවෙ ඉන්න දුශිතයො අයවැයට පක්ෂව චන්දය දෙන බව අපි දන්නවා. මුලුමහත් ජනතාවම පින් ජනපතියා සහ දූෂිත පොහොට්ටු ආණ්ඩුව පිළිකුල් කරලා,ප්‍රතික්ෂේප කරලා හමාරයි .
කටුකන මන්ත්‍රීලා ඉන්කම් රටට අබ සරණයි.
උන්ගේ යෝජනා උන්ම ඡන්දෙ දීලා සම්මත කරගන්නවා. ජන්දේ දීලා උන් එතෙන්ට යවපු මහජනතාව නිකන් බලාගෙන ඉන්නවා. අනේ මෙහෙම ප්‍රජාතන්ත්‍රවාදයක්. අවරුදු හැත්තෑ ගානක් කෙරුවේ ඕකමනේ. උන් දිනුම් හැමදාම මහජනතාව හැමදාම එතනමයි.
අයවැයට පක්ෂව ඡන්දේ දීලා තියෙන්නේ රට ගැන හිතලා නෙවෙයි, තමන්ගේ සාක්කුව ගැන හිතලා.
134 දෙනෙක් ගේ අයවැයට අන්තිමේ චන්දය දීලා තියෙන්නේ 123 පමණයි .දස දෙනෙක් හෝ කරුණු අවබෝධ වෙලා ජනතාව පැත්තේ හිතගත්තු එක හොඳ දෙයක් .වැඩි කල් නොගොස් බහුතරයම අහිමි වේවි
මේ අදහස් දාන අය දන්නවාද දන්නේ නැහැ අය වැය සම්මත නොවුනොත් වෙන දෙය .මුන් නිකන් අවභෝදයක් නැතිව අදහස් දානවා