(නිමල කොඩිතුවක්කු)

පුද්ගලික බස් රථ හිමියන් ඇතුළු සේවකයන් විසින් ශ්‍රී ලංගම බස් රථ වල සේවය කරන සේවකයන්හට සිදු කරන අමානුෂික පහරදීම් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොකරන්නේ නම් ශ්‍රී ලංගම සියලුම ඩිපෝවල  සේවකයන් ඉදිරියේ දී  අඛණ්ඩ වෘත්තිය වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය සඳහන් කරයි.

රත්නපුර ඩිපෝවේ මහනුවර රත්නපුර අතර ධාවනය කළ බස් රථයේ කොන්දොස්තර වරයෙකුට සිදුකළ අමානුෂික පහර දීම සම්බන්ධයෙන් මෙතෙක් නීතිය ක්‍රියාත්මක වී නොමැති බවත් එම සංගමයේ ප්‍රධාන ලේකම් සේපාල ලියනගේ මහතා සඳහන් කරයි.

පහරකෑමට ලක්වූ කොන්දොස්තර මහතා මේ වන විටත් රත්නපුර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවත් පහරදීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකර අදාළ පිරිස් අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලීමක් කරන බවත් ලියනගේ මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් රත්නපුර ඩිපෝවේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර ඇති බවත් පහරදීම් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොකරන්නේ නම් ඉදිරියේදී දිවයින පුරා සියලුම ඩිපෝවල මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය ව්‍යාප්ත කරන බවත්  ඔහු පැවැසීය.

අදාල පහරදීම සම්බන්ධයෙන් මේ වන විට විෂය භාර අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා දැනුවත් කර ඇතැයිද ඔහු තවදුරටත් කීවේය.