(රෝෂන් තුෂාර)

ගාල්ල උණවටුන රූමස්සල පිහිටි ප්‍රසිද්ධ විද්‍යාලයකට දරුවන් දෙදෙනකු ඇතුළත් කර ගැනීම සඳහා රුපියල් ලක්ෂ හයක මුදලක් ඉල්ලා රුපියල් ලක්ෂ දෙකහමාරක අල්ලසක් ලබා ගත්තේ යැයි රක්ෂිත බන්ධනාගාරගතව සිටි  විදුහල්පතිවරයා ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා  නියෝග කළේය.

පසුගිය 08 දින ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව  බන්ධනාගාර ගත කල දිගරැන්ද අහංගම පදිංචි රංජිත් පොන්සේකා නමැති සැකකරුට මෙසේ ඇප නියම කෙරිණි.

සැකකරුට රුපියල් 25000ක මුදල් ඇපයක් සහ ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් නියම කළ මහේස්ත්‍රාත්වරයා සැකකරුගේ  විදෙස් ගමන් තහනම් කිරීමට ද නියෝග කළේය.
සැකකරුට අදාළ පාසලට ඇතුළු වීමද තහනම් කෙරිණි.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව කරුණු දැක්වූ අල්ලස් කොමිසමේ නිලධාරීන් කියා සිටියේ දරුවන් දෙදෙනාගේ මව කරන ලද පැමිණිල්ලක් අනුව හබරාදූව ගාල්ල පිහිටි ප්‍රසිද්ධ වෙළෙඳ සැලැක් තුළදී  අත්අඩංගුවට ගත් සැකකරු ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඊයේ (15)දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ බවය.

ලක්ෂ දෙකහමාරක අල්ලස්සක් ලබා ගැනීමේදී මෙලෙස අත්අඩංගුවට පත් සැකකරු  2026 පළමු වසරට හා 8 වසර පන්තියට සිය දරුවන් දෙදෙනා ඇතුළත් කර ගැනීම සඳහා රුපියල් ලක්ෂ හයක මුදලක් ඉල්ලා  පසුව එකි මුදල රුපියල් ලක්‍ෂ 03 ක් දක්වා අඩුකර එයින් රුපියල් ලක්‍ෂ එකහමාරක මුදලක්  ලබා ගෙන ඇති බවද පැවසීය .

පසුව තවත් මුදල් ඉල්ලා ඇති සැකකරු එම මුදල් ලබා නොදෙන්නේ නම් දරුවන් දෙදෙනා පාසලෙන් ඉවත් කරන බවට දැන් වූ හෙයින් පැමිණිලිකාරිය මෙසේ පැමිණිලි කර ඇති බවත් විමර්ශන අවසන් නොමැති බැවින් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් ඉල්ලා සිටියේය.

සැකකරු වෙනුවෙන් නීතිඥ ප්‍රදීප් ජයකොඩි මහතා අධිකරණයට කරුණු දක්වමින් අදාළ අල්ලස් චෝදනාව සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව සඳහන් කළේය.
නීතිඥවරයා මෙසේද පැවසීය.

සැකකරු පාසලේ සේවය  නිමවී ගෙදර යන ගමන්  තේ බොන්න ගියහම මේ අල්ලස් මුදල් බලෙන් ලබා දී තිබෙනවා. පැමිණිලිකාරිය ඊට පෙර දුරකථන ඇමතුමක් ලබා දී පාසලේ සංවර්ධන කටයුතු වෙනුවෙන් යමක් කරන්න ඕන කියලා ඉල්ලලා තිබෙනවා. සැකකරු කියලා තියෙනවා එහෙනම් පාසලට එන්න කියලා.

කෙසේ වෙතත් සැකකරුට සපත්තුවක්කත් පැළඳිය නොහැකි තුවාලයක් ඔහුගේ කකුලේ තිබෙනවා. බන්ධනාගාරය තුළදී විෂබීජයක් ශරීරගත වූවොත් එය මාරාන්තික විය හැකි එබැවින් එය සුවිශේෂී කරුණක් ලෙස සලකා ඇප ලබාදෙන ලෙස ඉල්ලා සිටි නීතිඥවරයා අදාළ වෛද්‍ය වාර්තා ද අධිකරණයට ඉදිරිපත් කළේය.

දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා අදාළ රෝගී තත්ත්වයේ සුවිශේෂී කරුණක් ලෙස සලකා මේ අවස්ථාවේදී ඇප ලබාදෙන බව පැවසීය.

සැකකරුට ඇප නියම කරමින් පාසලට ඇතුළු වීම තහනම් කළ මහේස්ත්‍රාත්වරයා විමර්ශන ප්‍රගතිය ඔක්තෝබර් 20 දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට  කොමිසමට නියෝග කළේය.