(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් ලෙස පෙනී සිටි තිදෙනකු කොල්ලුපිටියේදී අද සවස රුපියල් ලක්ෂ 20 මුදලක් පැහැරගෙන යද්දී මුදල් රැගෙන ආ කැබ්රථයෙන් කොල්ලකරුවන් හප්පා එක් අයකු අල්ලා පොලිසිය බාරදී ඇත.

අනෙක් සැකකරු මුදල් බෑගය ද රැගෙන යතුරු පැදියෙන් පළාගොස් ඇතැයි පොලිසිය කියයි.

කැබ් රථයකින එම මුදල් රැගෙන පැමිණ ඇති අතර කොල්ලුපිටියේදී කොල්ලකරුවන් තිදෙනා පොලිස් විශේෂ කාර්ය බළකාය ලෙස පෙනී සිට මෙම කොල්ලය සිදු කර පළා යද්දී කැබ් රථයෙන් යතුරු පැදිය හප්පා ඇති අතර ඒ අවස්ථාවේ පැදවූ පුද්ගලයා යතුරු පැදියද සමග බිම ඇදවැටී ඇත. යතුරු පැදියේ පසුපස ගමන් කළ පුද්ගලයා එම යතුරු පැදිය පණ ගන්වාගෙන මුදල් සහිත බෑගයද රැගෙන පලාගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයි.

මුදල් සහිත බෑගය රැගෙන පළාගිය පුද්ගලයා පොලිස් හිස්වැසුම කෙට සමාන හිස්වැසුමක් පැළඳ සිට ඇතැයි ද පොලිසිය කීය.

බිම ඇද වැටුණු පුද්ගලයා කැබ් රථයේ සිටි දෙදෙනා විසින් අල්ලාගෙන පොලිසියට භාරදීමෙන් පසු සැක පිට අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයා කිරුළපන ප්‍රදේශයේ පදිංචි අයෙකි.

මෙම සැකකරුගෙන් පොලිසිය දීර්ඝ ලෙස ප්‍රශ්න කරගෙන යයි.