
(අංජුල මහික වීරරත්න)
අධි ආරක්ෂිත කලාප වල පවා චිකාගෝ ක්‍රමයට සිදුවන මනුෂ්‍ය ඝාතන ගැන ආණ්ඩුව රටට පැහැදිලි කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
බත්තරමුල්ල අකුරේගොඩ ආරක්ෂක මුලස්ථානය ආසන්නයේදී නීතිඥවරයකු සහ ඔහුගේ බිරිය වෙඩි තබා ඝාතනය කිරීම පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙසේද කියයි.
බත්තරමුල්ල අකුරේගොඩ ආරක්ෂක මුලස්ථානයට ඉතා ම ආසන්නයේ සිදු කළ වෙඩි තැබීමකින් නීතිඥවරයකු සහ ඔහුගේ බිරිඳ ජීවිතක්ෂයට පත්වීම පිළිබඳ පුවත ඇසීමෙන් මා ඉමහත් කම්පනයකට පත් වීමි. මෙම සිදුවීම අපගේ රට මේ මොහොතේ මුහුණ දී ඇති බරපතළ ව්‍යවසනකාරී තත්ත්වය පිළිබඳව යළිත් අපට අනතුරු ඇඟවීමක් සිදු කර තිබේ.
වර්තමාන ආණ්ඩුව බලයට ඒමට ඉදිරිපත් කළ ප්‍රධාන සටන් පාඨයක් වූයේ නීතිය හා සාමය බිඳවැටීම පිළිබඳව යි. ඒ පිළිබඳව ඉගැන්වීමට පවා හැකියාව ඇතැයි වේදිකාවල කළ ප්‍රකාශ අපට මේ මොහොතේ දී යළි යළිත් සිහිපත් වේ. මෙම කුරිරු ඝාතනය රටේ නීතිය හා සාමය බිඳ වැටී ඇති බවට මෙන්ම එය සුරක්ෂිත කිරීමට ආණ්ඩුවට හැකියාවක් නොමැති බව තවදුරටත් පෙන්නුම් කෙරේ.
නීතිය හා සාමය සුරක්ෂිත කිරීමට ආණ්ඩුව ගන්නා ක්‍රියාමාර්ග යනු හුදෙක් මාධ්‍ය සංදර්ශන පමණක් බව මේ තුළින් ඉතාමත් පැහැදිලි ය. පාතාලය මර්දනය කරනවා යැයි කියූ ආණ්ඩුව සිදුවන සෑම ඝාතනයක් ම පාතාලය මත හෝ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මත හෝ සම්බන්ධ කර තම වගකීමෙන් මිදීමට දරනා උත්සාහය අපි තරයේ හෙලා දකිමු. මෙම ඝාතනය තුළ දකින්නේ නීතියේ ආධිපත්‍යයට සහ නීතියේ ක්‍රියාකාරීත්වයට එල්ල වන දරුණු අභියෝගය යි.
රටේ ජන ජීවිතය සුරක්ෂිත කිරීමට නීතිය හා සාමය පවත්වා ගෙන යාමත් යුක්ති ගරුක ජන සමාජයක පැවැත්ම සඳහා නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත කිරීමත් ආණ්ඩුවේ අත්නොහළ හැකි වගවීම යි. එබැවින් මෙම කුරිරු ඝාතනය පිළිබඳව නොපමාව පරීක්ෂණ පවත්වා වගකිවයුත්තන් නීතියේ රැහැනට හසු කිරීමට ආණ්ඩුව ක්‍රියා කළ යුතු අතර අධි ආරක්ෂිත කලාපයක පවා බිඳ වැටී ඇති ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට ආණ්ඩුව නොපමාව පියවර ගත යුතුය. ආණ්ඩුව හදිසි නීතිය පනවමින් රට පුරා ත්‍රිවිධ හමුදාව පවා නීතිය හා සාමය සුරැකීමට කැඳවා ඇති මොහොතක මෙවැනි සිදුවීම් අධි ආරක්ෂිතකලාපයක පවා සිදුවීම පිළිබඳව ආණ්ඩුව නොපමාව රටට කරුණු පැහැදිලි කළ යුතු ය.
මෙම ඝාතනයෙන් වියෝ වූ නීතිඥවරයාට සහ ඔහුගේ බිරිඳට සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානයේ සාතිශය සංවේගය පුද කරමු.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් අතිශය බුද්ධිමත්, චිකාගෝ කියන්නේ සංවර්ධිත රටක කොටසක්. මේක තමයි තමුන්ගේ පියනෝ ඇතිකරපු, රනිල්/රාජපක්ෂලා වැඩිදියුණු කරපු සංවර්ධනය...