(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර ශ්‍රම සහයෝගිතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමට සහ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් තායිලන්තයේ රැකියාවල නියුක්ත කිරීම පිළිබඳ ගිවිසුමට අත්සන් තැබීම⁣⁣ට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ශ්‍රම සංක්‍රමණ පිළිබඳ ද්විපාර්ශ්වික සහයෝගිතාවක් ඇති කර ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර පවත්වනු ලැබ ඇති සාකච්ඡා වලදී ශ්‍රම සහයෝගිතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමක් සහ ඊට පරිපූරක ලෙස ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් තායිලන්තයේ රැකියාවල නියුක්ත කිරීම පිළිබඳ ගිවිසුමක් දෙපාර්ශ්වය අතර අත්සන් තැබීම පිණිස එකඟතාවකට එළඹ ඇත.

යෝජිත ගිවිසුම්වලට අත්සන් තැබීම මඟින් ශ්‍රම ක්ෂේත්‍රය තුළ දෙරටේ නිසි බලධාරීන් අතර නිල සහයෝගිතාව ස්ථාපිත කිරීම, මෙරට ශ්‍රමිකයින් තායිලන්තයට යැවීම සහ ගෙන්වා ගැනීම විනිවිද භාවයෙන් හා කාර්යක්ෂමව සිදු කිරීම සඳහා ව්‍යුහගත යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම, තායිලන්තයේ රැකියාවල නියුක්ත මෙරට ශ්‍රමිකයින්ගේ නීතිමය අයිතිවාසිකම්, සුබ සාධනය හා ආරක්ෂාව තහවුරු කිරීම සහ මිනිස් ජාවාරම් වැළැක්වීම යන කාර්යයන් සිදු කිරීමට අපේක්ෂා කෙරේ.

ඒ අනුව, වසර 05ක කාල සීමාවක් සඳහා ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර ශ්‍රම සහයෝගිතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමට සහ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් තායිලන්තයේ රැකියාවල නියුක්ත කිරීම පිළිබඳ ගිවිසුමට අත්සන් තැබීම පිණිස විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.