(නිමල කොඩිතුවක්කු සහ අංජුල මහික වීරරත්න)

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ශ්‍රී ලංකාව තුළ සංවිධානාත්මක අපරාධ වැළැක්වීම සඳහා නව පනත් කෙටුම් පතක් සකස් කිරීම පිණිස 2026-03-30 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව, ජාතික සීමා ඉක්ම වූ සංවිධානාත්මක අපරාධ වලට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්මුතිය බලාත්මක කිරීම සඳහා ද, ඵලදායී ජාතික සහ අන්තර්ජාතික සහයෝගිතාව මඟින් බරපතල අපරාධ වැළැක්වීම සහ බරපතල අපරාධ වලට විරුද්ධව කටයුතු කිරීම සඳහා ද, සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් වලින් ඉදිරිපත් වන තර්ජන වලින් සමාජය ආරක්ෂා කිරීම සඳහා ද නෛතික විධිවිධාන සලසනු පිණිස නීති කෙටුම්පත් සම්පාදක විසින් සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත සකස් කරනු ලැබ ඇත. එකී පනත් කෙටුම්පත සඳහා නීතිපතිගේ නිෂ්කාශනය ලැබී තිබේ. ඒ අනුව, එම පනත් කෙටුම්පත රජයේ ගැසට්‌ පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමා; සහ මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.