(අංජුල මහික වීරරත්න)

රජයේ රෝහල්වල ඔක්සිජන් භාවිත කිරීම සම්බන්ධ මෙරට ප්‍රථම ජාතික මාර්ගෝපදේශ මාලාව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් කොල්ලුපිටිය NH COLLECTION හෝටලයේ දී පැවැත්විණි.

මෙම ජාතික මාර්ගෝපදේශ මාලාව එළිදැක්වීමට සමගාමීව රජයේ රෝහල් වල ඔක්සිජන් භාවිත කිරීම සම්බන්ධව පුහුණු වැඩසටහන් මාලාවක්ද ආරම්භ කෙරිණි.

ඊට අදාළව කටයුතු කරන විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය වෘත්තිකයන් සියයක කණ්ඩායමක් පුහුණු කර ඔවුන් හරහා දිස්ත්‍රික් මට්ටමින්, පළාත් මට්ටමින් ඊට අදාළව රජයේ රෝහල්වල කටයුතුකරන සෞඛ්‍ය වෘත්තිකයන් පුහුණු කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සැලසුම් කර ඇත.

මෙරට රජයේ රෝහල් වල ප්‍රතිකාර සේවාවන්හිදී ඔක්සිජන් භාවිතාකිරීම සදහා වැදගත්වන සියළුම කරුණු සංයුක්ත කොට මෙම මාර්ගෝපදේශ සකස් කර ඇත. මෙම මාර්ගෝපදේශය එළිදැක්වීමෙන් ඔක්සිජන් භාවිත රෝගී සත්කාර සේවාවන් සංවිධානය කිරීම සහ කළමණාකරණය කිරීමේ වගකීම දරණ වෛද්‍ය පරිපාළකයන් සහ ප්‍රතිකාර විෂයෙහි වගකීම දරණ වෛද්‍ය විශේෂඥයන් ඇතුළු සෞඛ්‍ය වෘත්තිකයන් අතර තාක්ෂණිකමය අවබෝධය ඉහළ නංවාලීමට මෙම ජාතික මාර්ගෝපදේශ මාලාව බෙහෙවින් උපකාරී වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.