(සිරංගිකා ලොකුකරවිට )

රුහුණ විශ්වවිද්‍යාලයේ, ගාල්ල හපුගල පිහිටි ඉංජිනේරු පීඨයේ ආරක්ෂක නිලධාරියකු ඉංජිනේරු පීඨයේ ආරක්ෂක කුටියක් තුළ මියගොස් සිටිය දී සොයාගත් බව පෝද්දල පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ නාපේ ලියනාරච්චිලාගේ ගයාන් තුෂාර නානායක්කාර නමැති 49 හැවිරිදි දෙදරු පියෙකි.

ගාල්ල, කිතුලම්පිටියේ, මඩවලමුල්ල පාරේ පදිංචි ඔහු ඊයේ (26) උදෑසන රැකියාව සඳහා ඉංජිනේරු පීඨයට පැමිණ ඇත.

එදින සවස 6.00 පසුවුව ද ඔහු සේවයේ නිරත කුටියේ හෝ අදාල කළාපයේ විදුලි ආලෝකය දල්වා නොතිබුණු බව දුටු වෙනත් ආරක්ෂක නිලධාරියකු එහි ගොස් බලනවිට දැක ඇත්තේ ගයාන් තුෂාර නැමැත්තා මුර කුටිය තුළ වැටී සිට ඇති ආකාරයයි.

වහාම ප්‍රධාන ආරක්ෂක නිලධාරියා දැනුම්වත්කර ඇති අතර පසුව සිදුකළ දැනුම්දීමකට අනුව පැමිණි 1990 ගිලන්රථ සේවයෙන්  මෙම පුද්ගලයාගේ මරණය තහවුරු කර ඇත.