(මනෝප්‍රිය ගුණසේකර)

මත්ද්‍රව්‍ය ජාවාරම් සිද්ධීන් සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින සැකකරුවන් 45 ක් පමණ පිරිසකට ඇප ගැනීම සඳහා මහාධිකරණයට ඇප අයැදුම්පත් ඉදිරිපත් කර ඇති පුද්ගලයන් දෙදෙනෙකු පිළිබඳ වහාම සොයා බලා අධිකරණයට වාර්තා කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ලාල් රණසිංහ බණ්ඩාර මහතා රහස් පොලිසියේ අධ්‍යක්ෂකවරයාට නියම කළේය.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බව කියන පුද්ගලයින්ට ඇප ගැනීම සඳහා අදාළ පුද්ගලයින් දෙදෙනා වෘත්තියක් ලෙස ඉදිරිපත් වන පුද්ගලයින් බවට පොලිසිය ඉදිරිපත් කළ වාර්තා සළකා බැලීමෙන් අනතුරුව එලෙස නියම කළ විනිසුරුවරයා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බව කියන පුද්ගලයින්ට 45 දෙනෙකුට ඇප ගැනීම සඳහා එකම නීතීඥවරයකු ඇප අයැදුම්පත් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන්ද සවිස්තරාත්මක වාර්තාවක් කඩිනමින් උසාවියට ඉදිරිපත් කරන ලෙසද රහස් පොලිසියේ අධ්‍යක්ෂකවරයාට වැඩිදුරටත් නියම කළේය.

මත්ද්‍රව්‍ය ජාවාරම් සිද්ධීන් සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින සැකකරුවන් 45 ක් පමණ පිරිසකට ඇප ගැනීම සඳහා මහාධිකරණයට ඇප අයැදුම්පත් ඉදිරිපත් කර ඇතැයි කියන වැල්ලම්පිටියේ පදිංචි නිමල් කරුණාතිලක සහ කොටහේනේ පදිංචි ඇන්තනි ඇලෙක්සැන්ඩර් නමැත්තන් සම්බන්ධයෙන් වහාම විමර්ශනය කර අධිකරණයට සවිස්තරාත්මක වාර්තා ඉදිරිපත් කිරීමට මහාධිකරණ විනිසුරු ලාල් බණ්ඩාර මහතා රහස් පොලිසියේ අධ්‍යක්ෂකවරයාට මෙලෙස නියම කළේය.

මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කරකර සිටින සැකකරුවකුට ඇප නියම කරන්නැයි ඉල්ලා ගොනුකර තිබූ ඇප අයැදුම් පතක් කැඳවූ අවස්ථාවේදී ඇප අයැදුම්කරු කවුරුන්ද? යන්න පිළිබඳ නිශ්චිතව තහවුරු කර ගැනීම සඳහා ඇප අයැදුම්කරුට අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් සිතාසියක් නිකුත් කර තිබුණත් නඩුව කැඳවු අවස්ථාවේදී ඇප අයැදුම්කරු අධිකරණයේ පෙනී නොසිටියේය.

ඇප අයැදුම්කරු අධිකරණයට නොපැමීණී අවස්ථාවේදී ඇප ඉල්ලා ගොනුකර තිබු පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට ඇප ඇයැදුම ගොනුකර තිබු නීතීඥවරයා අවසර ඉල්ලා සිටියත් ඊට අවසර නොදුන් විනිසුරුවරයා රිමාන්ඩ් බාරයට පත්කර සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කළැයි කියන සැකකරු හා ඔහුගේ සමීප ඥාතීන් දෙදෙනකු අධිකරණයට කැඳවීමට පියවර ගෙන තිබුණි.

ඇප අයදුම්පතක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් මහාධිකරණ විනිසුරු ලාල් බණ්ඩාර මහතා සැකකරුගේ සමීප ඥාතීන්ගෙන් විමසීමේදී ඇප අයදුම්පතක් ඉදිරිපත් කිරීමට තමන් නිමල් කරුණාතිලක නමැත්තෙකුට උපදෙස් නුදුන් බවත් එවැනි පුද්ගලයකු තමන් නොදන්නා බවත් ප්‍රකාශ කළහ.

අදාළ කරුණු හෙළි වීමෙන් අනතුරුව අදාළ ඇප ඇයැදුම්පත නිශ්ප්‍රභ කිරීමට මහාධිකරණ විනිසුරුවරයා පියවර ගත්තේය.

ඉන් අනතුරුව අවස්ථාවක නීතීඥ ප්‍රභාෂ්වර පිරිස් මහතා මඟින් ඉදිරිපත් කර තිබු තවත් ඇප අයැදුම් පතක් කැඳවු අවස්ථාවේදී රිමාන්ඩ් බාරයේ රඳවා සිටි මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කරකර සිටින සැකකරු අධිකරණයට කැඳවු විනිසුරුවරයා ඇප අයදුම්පත ඉදිරිපත් කළ පුද්ගලයා දන්නා හඳුනන අයකුදැයි සැකකරුගෙන් විමසා සිටියේය.

ඒ අවස්ථාවේදී අධිකරණය ඇමතූ සැකකරු තමන් වෙනුවෙන් ඇප අයදුම්පත ඉදිරිපත් කළ පුද්ගලයා කවුරුන්ද? යන්න නොදන්නා බවත්, නීතීඥ ප්‍රභාෂ්වර පිරිස් මහතා බන්ධනාගාරයට පැමිණ තමන් හමුවී තමන් වෙනුවෙන් ඇප අයදුම්පත ඉදිරිපත් කළ පුද්ගලයා දන්නා අයෙකු බව උසාවිය හමුවේ පවසන ලෙස තමාට දැනුම් දුන් බවත් පැවසීය.