(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

පෞද්ගලික උපකාරක පන්ති පවත්වන ගුරුවරයකු ගමන් ගත් යතුරු පැදියක් මාදම්පේ  කුලියාපිටිය ප්‍රධාන මාර්ගයේ කනදුල්ල ප්‍රදේශයේ දී ලොරි රථයක ගැටීමෙන්උපකාරක පන්ති ගුරුවරයා බරපතළ තුවාල ලබා මියගොස් ඇතැයි කුලියාපිටිය මූලස්ථාන පොලීසිය පවසයි.

එසේ මියගොස් ඇත්තේ දුම්මල සූරිය, හතරමං හන්දිය පොතුවටවන වත්තේ පදිංචිව සිටි එන්. ඩබ්ලිව් . වෛද්‍යරත්න නැමැති 36 හැවිරිදිඋපකාරක  පන්ති පවත්වන ගුරුවරයෙකි.

මොහු බරපතළ තුවාල ලබා කුලියාපිටිය රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය බව කුලියාපිටිය මූලස්ථාන පොලිසියේ  රථ වාහන අංශයේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

මෙම මාරක අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරා සැක පිට අත්අඩංගුවට ගෙන ලොරි රථය ද පොලිස් බාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකාර රියදුරා කල්පිටිය, නොරොච්චෝලේ ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි අයෙකි.

කුලියාපිටිය මූලස්ථාන පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් මෙම අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.