ශ්රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක කුසල් මෙන්ඩිස් මහතා පැද වූ සුඛෝපභෝගී මෝටර් රථයේ පානදුර උතුර, ගාලු පාර, හෝරේතුඩුව 13 කණුව ප්‍රදේශයේදී පාපැදිකරුවකු ගැටී මිය යාමේ සිද්ධියට අත්අඩංගුවට ගනු ලැබූ කුසල් මෙන්ඩිස් මහතා ඊයේ ඇප පිට මුදාහරිනු ලැබීය. අනතුරට පත් වෘත්තියෙන් බස් කොන්දොස්තරවරයකු වන නෙවිල් පීරිස් මහතා බරපතළ තුවාල ලබා වැටී සිටියදී කුසල් මෙන්ඩිස් මහතා සිය රිය නොනවත්වා ධාවනය කර පලාගොස් පැයකට පමණ පසුව පොලීසියට බාර වූ බවද අප ප්‍රවෘත්තියේ සඳහන්ය. පොලීසියට ලද තොරතුරක් මත 1990 සුවසැරිය ගිලන් රථයෙන් පානදුර රෝහලට පාපැදිකරු රැගෙන ගොස් ඇති බවත් එහිදී ඔහු මියගොස් ඇති බවත් අප ප්‍රවෘත්තියේ වැඩිදුරටත් සඳහන්ය.
කුසල් මෙන්ඩිස් යනු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙකි. දෙකෝටි විසිලක්ෂයක් ඉක්ම වූ පුරවැසියන් සිටින රටක ජාතික ක්‍රිකට් කණ්ඩායමේ 11 දෙනා අතරට ඒමට සමත් වූ තම ස්ථානය රැකගැනීමට සමත් වූ ක්‍රීඩකයෙකි. මෙරට ජාතික ක්‍රීඩාව නොවූවද ජාතික ක්‍රීඩාවද ඉක්මවා ජන ආකර්ශනය දිනා ගැනීමට ක්‍රිකට් ක්‍රීඩාව සමත් වී ඇති අතර එම ජනප්‍රියම ක්‍රීඩාවේ ජනප්‍රිය ක්‍රීඩකයකු ලෙස කුසල් මෙන්ඩිස් ඉදිරියෙන්ම සිටියේය.
ඉහත අර්ථයෙන් ගත් කල්හි කුසල් මෙන්ඩිස් යනු සුවිශේෂ චරිතයකි. වගකීමක් ඇති පුරවැසියෙකි. ඔහු කටයුතු කළ යුතුවන්නේ එම වගකීම එයට හිමි නිසි බරින්ම හඳුනාගනිමින් එයට යටත්වය. රිය අනතුරක් වූ විට එයට පසු ගතයුතු පියවර සම්බන්ධයෙන් කුසල් මෙන්ඩිස්ට අමුතුවෙන් වටහාදිය යුතු නැත. එසේ තිබියදී තම රියේ ගැටුණු මිනිස් ප්‍රාණියා මහපාර මැද තනිකර පලායාම කුසල් මෙන්ඩිස් වැනි ක්‍රීඩකයකුගෙන් අපේක්ෂා කළ නොහැකි දෙයකි. වගවීමක් නැති අනීතික අශිෂ්ට මදාවියකුගේ හැසිරීමක් කුසල් මෙන්ඩිස් වැනි ක්‍රීඩකයකුගෙන් ප්‍රදර්ශනය වීම ක්‍රීඩාවෙන් දායාදවන බව කියන විනයද ඔහු තුළ නොමැති බව ඔප්පු කිරීමකි.
කිසිවකු කැමැත්තෙන් ආශාවෙන් තවත් මිනිසකු මහපාරේ යටකර දමන්නේ නැත. ඇතැම්විට අනපේක්ෂිතව රිය අනතුරු සිදුවෙයි. ඇතැම්විට නොසැලකිලිමත්කම නිසා රිය අනතුරු සිදුවෙයි. තාක්ෂණික දෝෂ ආදිය නිසාද රිය අනතුරු සිදුවෙයි. හේතුව කුමක් වුවද රිය අනතුරකින් පසුව කළයුතු බොහෝ දේ වෙයි. පළමුව තුවාලකරුවා ක්ෂණිකව රෝහල්ගත කිරීමට කටයුතු කළ යුතුය. අනතුරුව නීතියට අනුව ඊළඟ ක්‍රියාමාර්ග ගත යුතුය. එහෙත් කුසල් මෙන්ඩිස්ගෙන් එම වගකීම ඉටුවී නැත.
අප ප්‍රවෘත්තියට අනුව ක්‍රිකට් පාලක මණ්ඩලයේ සාමාජිකයකුගේ උත්සවයක් තලංගම ප්‍රදේශයේ පැවැති අතර කුසල් මෙන්ඩිස් එහි සිට සිය නිවෙස කරා යනවිට මෙම අනතුර සිදුවී ඇත. අනතුර සිදුවී ඇත්තේ අලුයම 5 ට පමණය. මරණකරු සිය බිරියගෙන් ලැබුණු තේ කෝප්පය පානය කර සේවයට වාර්තා කිරීමට යන අතරතුර හා කුසල් මෙන්ඩිස් සාදය නිමවා නිවෙසට යන අතරතුර දී මෙම අනතුර සිදු වී තිබේ. කුසල් මෙන්ඩිස් බීමත්ව සිටියේද යන්න පරීක්ෂා කිරීම සඳහා පොලීසිය ඔහුගේ රුධිර සාම්පලයක් ලබාගත් බවද අප ප්‍රවෘත්තියේ සඳහන්ය.
ක්‍රීඩකයන්ටද පෞද්ගලික ජීවිතයක් තිබේ. අපි එය පිළිගන්නෙමු. ක්‍රීඩාව කවරක් වුවද එම ක්‍රීඩාවේ ජාතික සංචිතය තුළ යම් ක්‍රීඩකයකු සිටිත්නම් ඔහු රට සතු වස්තුවකි. ඔහුගේ සියලු ඇවතුම් පැවතුම් එම තත්ත්වයට යටත්ය. යමකු එම තත්ත්වය නොසලකා කටයුතු කරන්නේ නම් එය තමන්ම නින්දාවට පත්කර ගැනීමකි. එමෙන්ම එම ක්‍රීඩාව හෑල්ලුවට ලක් කිරීමකි. ක්‍රීඩකයන් තමන්ගේ තරාතිරම වගකීම සම්බන්ධයෙන් ප්‍රමාණාත්මක අවබෝධයකින් කටයුතු කළ යුතුය.
රිය අනතුරක් වූ විට රිය අනතුර කළ පුද්ගලයා එතැනින් පලා යාමටද හේතුවක් තිබේ. යම් අනතුරක් සිදු වූ විට එතැනට රැස්වන ඇතැම් පිරිස් ආවේගශීලීව හැසිරීම එක් හේතුවකි. රිය අනතුර සිදු වූ ආකාරය පිළිබඳව කිසිදු අවබෝධයකින් තොරව රියැදුරාට පහරදීම, වාහනයට අලාභහානි කිරීම බොහෝ විට සිදු වේ. එහිදී ඇතැම් රියැදුරන් බොහෝවිට සිදු කරන්නේ රිය අනතුර සිදු වූ ස්ථානයේ නොසිට ළඟම ඇති පොලිසියට වාර්තා කිරීමය. මෙම තත්ත්වය සම්බන්ධයෙන් රටේ ජනතාව අවධානය යොමු කළ යුතුය. තමන්ගේ ආවේගශීලීත්වය ඇතැම් විට වැරැදි ප්‍රතිඵල අත්කර දෙන බව තේරුම් ගත යුතුය.
සැලකිලිමත් ලෙස රිය පැදවීම සෑම රියැදුරකුගේම වගකීමකි. එසේ නොවුණහොත් වටිනා මිනිස් සම්පත් වැනසී යයි. කුසල්ගේ රිය අනතුරෙන් පවුලක් රක්ෂා කළ මිනිසකුට දිවි අහිමි විය. ඒ පවුලට ඒ අඩුව පුරවන්නේ කවුරුන්ද?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගහන්න ඕන තැනට ගහලා තියෙනවා. වදින්නේ නැති වුනාට මොනවා කරන්නද.?
ලංකාවෙ නීතිය නම් හරිම පුදුමයි. දියුණු රටක රිය අනතුර සිදුකර, පලා ගියානම් සිර දඩුවම් අනිවාර්යයි. මරන කරුගෙ ආදාහනය ඉවරකරන්නත් ඉස්සර චූදිතයා ගෙදර. මේක හදිසි අනතුරක් නෙවෙයි.
කුසල් මෙන්ඩිස් මහතා අතින් සිදුවූයේ මනුෂ්‍යත්වයට සුදුසු වරදක් නොවෙයි. ඔහු රිය පැදවූයේ ද දකුණු මංතීරුවෙනී. වේගයෙන් පා පැදිකරු ගේ සිරුරෙහි වැදුණු පසු කෙලින්ම රථය නොනවත්වා ඔහු ධාවනය කළේය. රථය පසුපසින් බල්ලන් දෙදෙනෙකු වේගයෙන් දිව යනවා පෙනුණි. එම සතුන් රථය නවත්වන ලෙස ඉල්ලීමක් කළා විය හැකිය. ඒත්, කුසල් මෙන්ඩිස් මහතාට එය හෝ දැකීමට සිහි කල්පනාවක් තිබුණාදැයි සැකසහිතය. මෙහි පුදුමම දුකට හේතුව මේ මිනිසුන් දිවි ගෙවා ඇත්තේ ලෑලි ගෙයක ය. ඒකත් කුලියට ගත් එකක්ය. ප්‍රශ්ණය තියෙන්නේ මේ අසරණයන්ට ජීවත් වීමේ මාර්ගය නැතිවු එකටය. රුපියල් ලක්ෂ 10 කින් ජීවිතයකට වන්දියක් ගෙවිය හැකිද? ඔවුන්ට තිබූ එකම ආදායම් මාර්ගය ද නැතිවී ගියේය. මෙන්ඩිස් මහතා ලෙඩා රෝහලකට ගෙන ගියේ නම් සමහරවිට මේ අහිංසක ජීවිතය ගොඩ දා ගැනීමට ද ඉඩ තිබුණි. එසේනම් මේ ලක්ෂ 10 ද ඔහුගේ ජීවිතය ද සුරැකෙනු ඇත. එහෙත් අද ඒ අසරණයා මෙලොව හැර ගොසිනි. දරු පවුලක් අනාථ විය. ඔවුන්ගේ දුක කාට කියන්නද? තවත් දින කිහිපයකින් ඒ දුක රටට ද අමතකව යනු ඇත.. අසරණයෝ දුකෙහි වැටී දඟලනු ඇත.. කරුමෙක මහත ! පාරේ ගිය අහිංසකයාට සිදු වූ දෙයක මහත ..... !!!
ක්‍රිකට් අදාළ දෙයක් නොවේ... සාදයක් නම් අනිවාර්යයෙන්ම එතැන මත්පැන් නමුත් මහමග මිනිසුන් හප්පා මරාදමා පැන යන්න බැහැ. උපරිම දඬුවම් ලබාදිය යුතුයි.
මෙම රිය අනතුරේදී කුසල් මෙන්ඩිස් 100%ම වරදකරු බව මොන්ටිසෝරි යන ළදරුවෙකුට පවා ඊට අදාළ වීඩියෝ දර්ශනය නැරඹීමෙන් පැහැදිලියි. නමුත් ශ්‍රී ලංකාවේ නීතියට එය එසේ නොවේ. මහත්වරුන්ගේ ක්‍රීඩාව කළත් කුසල් මෙන්ඩිස් මහත්මයෙකු ලෙස ක්‍රියාකළ ආකාරයක් කොහෙත්ම නැත. අනික ඔහුගේ මහත්මාකම් පුරවැසියන් වන අපට අදාළ නැත. ඒ වගේම මෙරට උගතුන්, බුද්ධිමතුන් හා ප්‍රභූන්, පූජකයින් යයි කියා ගන්නා අයගේ මහත්මකම් නරඹා ඇති අපට ඔහු වැන්නෙකුගෙන් අමුතු මහත්මාකමක් බලාපොරොත්තු වීමත් විහිළුවකි. පුරවැසියන් වන අපට වැදගත් වන්නේ මේ රටේ පවතින නීතියයි. ඔය කාගේ කාගේත් නිරුවත දැක, ප්‍රීති වීමට හුරු පුරුදු අපට, රටේ නීතිය ක්‍රියාත්මක වීමේදී එහි පවතින සුන්දර බව නරඹා සතුටු විය නොහැක්කේ මන්ද? අශිෂ්ඨයින්ගේ පාරාදීසයේදී, අශිෂ්ඨකම අමුත්තක් විය හැකිද?
අනතුරකදී ආවේගශීලීව රියදුරුට පහරදීම වැනි දේවල් නතර කර නීතියෙන් උපරිම දඬුවමක් හා අනතුරට පත්වූ තැනැත්තන්ට උපරිම සාධාරණයක් ඉටුවිය හැකි ක්‍රමවේදයක් හැදුණු දවසකට මේ තත්වය අඩු කරගන්න පුලුවන් වෙයි. අද කාලේ හැටියට ලක්ෂ 10න් අර අසරණ පවුලට කී දවසක් යැපෙන්න පුලුවන් වෙයිද? ඔවුනුත් අපි වගේම මනුෂ්‍යයෝමය. අපිට මෙන්ම ඔවුන්ටත් බඩගිනි දැනෙනු ඇත, අලුත් ඇඳුම්, පැළඳුම් ගන්න වෙන අවස්ථාවන් එනු ඇත.. විවාහ උපන්දින ආදී උත්සව ආදිය ඔවුන්ටත් සහහාගි වීමට හෝ සැමරීමට සිදුවනු ඇත.. ලෙඩට දුකට බෙහෙත් ගැනීමට සිදුවිය හැක. දරුවන්ගේ අධ්‍යාපනයට වියදම් කිරීමට සිදුවනු ඇත. නිකමට සිතා බලන්න අපි මේ දේවල් සඳහා කොතරම් මුදලක් වැය කරනවාද? නොසලකිලිමත් ලෙස රිය පදවා අනතුරු සිදුකරන රියදුරන්ට අනතුරට පත්වන පාර්ශවයේ ඉහත සඳහන් වියදම් ජීවිතාන්තය දක්වා ගෙවීමට නීති සම්පාදනය කළානම් රියදුරු අසුනේ වාඩිවීමට පෙර දෙසැරයක් හිතීමට සියලු දෙනා පුරුදුවෙයි...
පත්තරේ අපේ මහත්තයා, කැලේ කොටියට බයේ ගෙදර තියන "මුවහමට තඩි බානවා" නේද? බෝල ගහලා කරලියට ආපු කෙනාගේ කොලිටි එක හොයන වෙලාවේ.. අපේ බදුමුදලින් වැටුප් ලබන අපේ රටේ පොලිස් කාරයාගේ හා නඩු කාරයාගේ කොලිටිය ගැන කතා කළොත් නේද හොඳ?
අද කාලේ සල්ලි තියෙනවා නම්, රිය අනතුරට ලක්වූ අයකු පාරේ දමා යාමේ ප්‍රශ්නයක් නැහැ.
ඒ වැඩේ සාධාරණද? නැද්ද? කියලා තීරණය වෙන්නේ කරපු පුද්ගලයා අනුවයි... ප්‍රභූ පුද්ගලයෙක්, ක්‍රිකට් ක්‍රීඩකයෙක් වගේ කෙනෙක් නම් අවුලක් නැහැ. ගමේ බණ්ඩා එහෙම කළොත් ඔවුන්ට ඇපත් නැතිව, නඩුත් නැතිව කෙළින්ම අවුරුදු 10කට හිරේ...
මේ පිළිබඳ කතා කරන්න ශක්තිය තිබූ එක සතුටක්..
තරුණයෙක් ජීප් එකේ හප්පා ඩ්‍රයිවර් ඉදිරිපත් කරපු දීග ජන්තු ඇමැතියා එදා හිරේ දැම්මා නම් අද මේ ප්‍රශ්නය විසඳීමට පහසු වෙන්න තිබුණා. මොකද මේ වගේ බල පුළුවන්කාරයින් කොහොම හරි නීතියෙන් රිංගා බේරිලා යනවා. රට හැදෙන්න නම් මේ අය ඔක්කොම නීතියට අනුකූලව හිරේට දමන්න ඕනෑ...
කුසල් මෙන්ඩිස් 100% වැරදියි. මිලියනයක වන්දියක් .... ???? නිසැකවම ප්‍රමාණවත් නොවේ.