(අජන්ත කුමාර අගලකඩ)

 ශ්‍රී ලංකා රූපවාහිනී රූපවාහිනි සංස්ථාවේ වැටුප් සහ අනෙකුත් අත්‍යවශ්‍ය වියදම් පියවා ගැනීම සඳහා  මාස හයක කාලයකට  රුපියල් කෝටි 24 ක මුදලක් ලබා දෙන්නැයි මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලීමක් කර ඇත.

ඉකුත්  පෙබරවාරි මස සිට ලබන ජූලි දක්වා කාලය තුළ සේවක වැටුප් හා  අත්‍යවශ්‍ය  පියවා ගැනීම සඳහා මෙම මුදල ඉල්ලා ඇත.

සංස්ථාවේ ආදායම පහත වැටීම හේතුවෙන් ,එය වැටුප් ගෙවීම හා  අත්‍යවශ වියදම් පියවා  ගැනීමට ප්‍රමාණවත් නොවන බව ද සංස්ථාව මහා භාණ්ඩාගාරයට දැනුම් දී ඇත .

සංස්ථාවේ  ආදායම් සහ වියදම් අතර පරතරය රුපියල් කෝටි හය හමාරක් පමණ වන අතර, ජාතික ලොතරැයි මණ්ඩලයෙන් මාසිකව හිමිවූ රුපියල් කෝටි තුනහමාරක පමණ ආදායම  අහිමි වීම ද ඊට බලපා ඇතැයි  දැනුම් දී ඇත .

රූපවාහිනී සංස්ථාවේ සේවක සංඛ්‍යාව 862 ක් පමණ වන අතර ,ඔවුන්ට වැටුප් ගෙවීමට පමණක් මාසිකව රුපියල් කෝටි නවයක පමණ මුදලක් වැයවන බව ද සංස්ථාව  පෙන්වා දී ඇත .

ජනවාරි මාසයේ සිට  රුපියල් 5000 ක අමතර දීමනාවක් ගෙවීම හේතුවෙන්  මාසිකව තවත් ලක්ෂ 50ක පමණ  අමතර වියදමක් කිරීමට සිදුව ඇතැයි  ද අවස්ථාව දැනුම්  දී ඇත.