(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

අතුරුගිරිය,මිරිහාන මුල්ලේරියාව හා බොරලැස්ගමුව පොලිස් වසම් වල යතුරුපැදියකින් ගොස් කාන්තාවන්ගේ ගෙල බැඳි රන්මාල කොල්ල කෑමේ යෙදුණු පුද්ගලයන් දෙදෙනකු මීගොඩ බටවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව මිරිහාන නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි

අත්අඩංගුවට ගත් එක් සැකකරුවකුට නුගේගොඩ අධිකරණය මගින් විවෘත වරෙන්තු නිකුත් කර තිබූ අයකු බවත් පොලිසිය පවසයි.

සැකකරුවන් සමග කොල්ල කන ලද රන් මාලයක් සහ කොල්ලකෑමට යොදාගත් යතුරුපැදිය ද පොලිසිය භාරයට ගෙන ඇත

ඉකුත් මාස කිහිපය තුළ මෙම සැකකරුවන් දෙදෙනා මහ මග ගමන් ගන්නා කාන්තාවන්ගේ ගෙල බැඳි රන් මාල කොල්ලකෑම කිහිපයක් සිදුකර තිබූ බවත් ඒ ඔස්සේ සිදුකළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බවත් පොලිසිය කියයි

කොල්ලකෑම සඳහා යොදා ගත් යතුරු පැදියට ව්‍යාජ අංක තහඩුවක් සවිකර තිබූ බවත් මුල්ලේරියාව හා බොරලස්ගමුව පොලිසිය මගින් මීට පෙර රන් මාල කොල්ලකෑම සම්බන්ධයෙන් නඩු පවරා තිබෙන පුද්ගලයන් දෙදෙනකු බවත් වැඩිදුරටත් අනාවරණ වී ඇත

සැකකරුවන් දෙදෙනා පසුගිය මස 15 වැනි දින මිරිහාන ධර්මරත්න මාවත මාර්ගයේ ගමන් ගත් කාන්තාවක් බිම පෙරළාගෙන ගෙල බැඳි රන්මාලය කඩා ගන්නා අයුරු සීසීටීවී කැමරාවක සටහන්ව තිබූ බවත් පොලිසිය සඳහන් කරයි

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 32 සහ 41 අතර පසුවන බඩල්ගම පාදුක්ක ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.