(අංජුල මහික වීරරත්න)

රථවාහන වැරදි කරන සියලුම රියදුරන් සඳහා රියදුරු අකුසලතා ලකුණු ක්‍රමවේදයක් හඳුන්වා දීමට ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය තීරණය කර තිබේ.

පොදු ප්‍රවාහන සේවාවේ සුරක්ෂිතභාවය වෙනුවෙන් ආරම්භ කර ඇති ජාතික ප්‍රවාහන ක්‍රියාකාරී සැලැස්මට අනුව හඳුන්වා දෙන ප්‍රතිසංස්කරණ යටතේ මෙම ක්‍රමවේදය හඳුන්වා දෙනු ලබයි.

මෙම නියමු ව්‍යාපාතිය ඔක්තෝබර් 1 සිට 2027 මාර්තු මාසය දක්වා ක්‍රියාත්මක කෙරෙන අතර එම හය මාසයක කාලය තුල රියැදුරන් දැනුවත් කිරීමත් ආරක්ෂිත ක්‍රමවේදයට අනුගත වීමටත් කාලය හිමිවෙයි.

මාස හයක නියමු ව්‍යාපෘතිය ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් ශ්‍රී ලංකා පොලීසිය, ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, Lanka Pay ආයතනය, Gov Tech ආයතනය ඇතුළු රාජ්‍ය හා රාජ්‍ය අනුබද්ධ ආයතන ඒකාබද්ධව ක්‍රියාත්මක කෙරේ. අධිවේගී මාර්ග හා මහා මාර්ගවල ධාවනයේ යෙදෙන සියලුම රියැදුරන්, ඉදිරි හය මාසයක කාලය තුල මෙම ක්‍රමවේදය සමග අනුගතවීම අත්‍යවශ්‍ය බව අමාත්‍යංශය කියයි .

හය මසක නියමු ව්‍යාපෘතිය අවසානයේ එළැඹෙන 2027 වසරේ මාර්තු මස සිට රියැදුරන් සඳහා අකුසලතා ලකුණු ක්‍රමවේදය (DEMERIT POINTS SYSTEM) නිත්‍ය ලෙස ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. මෙම ක්‍රියාවලිය රථවාහන වැරදි 33 ක් සඳහා ක්‍රියාත්මක කිරීමට නියමිතය. මීට සමගාමීව Gov-Pay හරහා මාර්ගගත ක්‍රමයට රාජ්‍ය ආයතනවලට ගෙවීම් කටයුතු සිදු කිරීමද විධිමත් කර ඇත.