(අංජුල මහික වීරරත්න)

“රටම එකට” ජාතික මෙහෙයුම යටතේ ඉකුත් ඔක්තෝබර් 30 සිට මෙම ජනවාරි 20 දක්වා කළ වැටලීම් වලදී විෂ මත්ද්‍රව්‍ය වර්ග රැසකට අදාළව වැටලීම් 76,162 ක් සිදු කර  සැකකරුවන් 75,477 දෙනකු අත්අඩංගවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාස පවසයි.

ඒ් අතරින් රැඳවුම් නියෝග ලබාගත් සැකකරුවන් ගණන 1557 කි. සැකකරුවන් 67 දෙනකුට අදාලව නීති විරෝධී වත්කම් විමර්ශන ආරම්භ කර තිබේ.  මත්ද්‍රව්‍ය භාවිතයෙන් මුදවා ගැනීම පිණිස මේ වන විට පුද්ගලයින් 1433 දෙනෙකු පුනරුත්ථාපනයට යොමු කර ඇත. 

මෙම වැටලීම් වලදී  කළ විෂ මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම් ප්‍රමාණාත්මකව සැලකූ විට ප්‍රධාන වශයෙන් හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 319 යි ග්‍රෑම් 899 ක්, අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1278 යි 476 ක්, කොකේන් කිලෝග්‍රෑම් 6 යි ග්‍රෑම් 814 ක්, ගංජා කිලෝග්‍රෑම් 2303 යි ග්‍රෑම් 976 ක්  යනාදී වශයෙන් විෂ මත්ද්‍රව්‍ය  අත්අඩංගුවට ගෙන තිබේ. 

ජාතික ව්‍යසනයක් බවට පත්ව ඇති විෂ මත්ද්‍රව්‍ය උවදුර රටින් මුලිනුපුටා දැමීමේ අරමුණින් දියත් කරන “රටම එකට” ජාතික මෙහෙයුම  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඔක්තෝබර් 30 දා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී ආරම්භ කෙරිණි.