(ඩයනා උදයංගනී)

විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ සහය ශ්‍රී ලංකාවට ලබාගැනීම සඳහා මධ්‍යම සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක් ලෙස කටයුතු කිරීමට හැකි පරිදි ‘විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ කාර්යාලයක්’ පිහිටුවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී ඇත.

එතෙර වෙසෙන මිලියන තුනක් පමණ ශ්‍රී ලාංකිකයන්ගේ දායකත්වය මෙරට සංවර්ධන කටයුතු සඳහා ලබාගැනීමට හැකිපරිදි ජනාධිපති කාර්යාලය යටතේ මෙය පිහිටුවීමට නියමිත බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2022 අතුරු අයවැය මගින් ඉදිරිපත් කළ යෝජනාවක් අනුව මෙම කාර්යාලය පිහිටුවීමටත්, එහි කටයුතු විධිමත්ව පවත්වාගෙනයාමටත්, විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රී මහතා ඉදිරිපත් කළ යෝජනාවකට මෙම අනුමැතිය හිමිවූ බව ද ඇමතිවරයා ප්‍රකාශ කළේය.

ඇමතිවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (20) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.