(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

රටේ එක ගෑස් සිලින්ඩරයක් හෝ පුපුරා ගොස් නැතැයි සියයට සියයක් තහවුරුවී ඇති බව  පාරිභෝගික කටයුතු රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පාර්ලිමේන්තුවේදී අද (30) පැවැසීය.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ  කාන්තාවක් ගෑස් සිලින්ඩරයක් පුපුරා මිය ගිය බවට කින්ස්  නෙල්සන් මන්ත්‍රීවරයා මෙම සභාවේදී  පැවසුවත්   ඇය මියගොස් ඇත්තේ  සිය දිවි හානි  කරගෙන  යැයි  පොලිසිය  වීඩියෝවක් මගින් තහවුරු කර ඇති බවද  අලගියවන්න මහතා කීවේය.

මේ රජය සිටින්නේ සමාගම් පැත්තේ නොව පාරිභෝගිකයා පැත්තේ යැයිද  ඔහු සඳහන් කළේය.

අලගියවන්න මහතා මෙසේ පැවසූවේ  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ස්ථාවර නියෝග 27 (2) යටතේ මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

ලසන්ත අලගියවන්න මහතා එහිදී මෙසේද පැවසීය.

හිටපු අගමැතිතුමා මේ සම්බන්ධයෙන් හොඳ යෝජනාවක් කළා. මම ඒ ගැන එතුමාට ස්තූතිවන්ත වෙනවා. පොදු ව්‍යාපාර කාරක සභාවට කැඳවා සාකච්ඡා කරන්න කියලා එතුමා කිව්වා. ඒක ඵලදායි යෝජනාවක්. මෙතන ප්‍රශ්නයක් තිබෙනවා. ඒක විසඳා ගැනීමට අවශ්‍යයි. ඒ සඳහා අපි ක්‍රියාත්මක වෙනවා.

ජනාධිපතිතුමාත් මට මේ ගැන අද කතා කළා. එතුමාත් මේ සම්බන්ධයෙන් අදාළ රාජ්‍ය ආයතන කැඳවා  කමිටුවක් පත් කරනවා. කෙටිකාලීන සහ මධ්‍යකාලීන යෝජනා ඇතුළත් වාර්තාවක් එතුමා බලාපොරොත්තු වෙනවා. අදත් සාකච්ඡා  කීපයක් පැවැත්වෙනවා.  උපාංග ගෙන්වන සමාගමුත් අද කැඳවනවා.

ලීටර් 18 ගෑස් සිලින්ඩර අද වෙළඳපොළේ නැහැ.  මම වගකීමෙන් කියනවා.ඒ වංචාවට විරුද්ධව අපි ක්‍රියාමාර්ග ගත්තා. උසාවි ගිහිල්ලා ගැසට් නිවේදනයකුත් පළ කළා. ඒ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කළා.

මෙම  ගෑස් සිද්ධි සාධාරණීකරණය කරන්නේ නැහැ.