(නිමල කොඩිතුවක්කු)

රටේ පවතින අර්බුදය පිළිබඳ ජනාධිපතිවරයාට කිසිදු දැනීමක් නොමැති බව  ඔහු ජාතිය අමතා සිදු කළ ප්‍රකාශයෙන් තහවුරු වන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේය.

රට තවදුරටත් විනාශ නොකර තමන් කැමති කණ්ඩායමකට රට භාරදීමට ජනතාවට අවස්ථාවක් ලබාදෙන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන බවත් කිරිඇල්ල මහතා පැවසීය.

ජනාධිපතිවරයා ජාතිය අමතා සිදු කළ ප්‍රකාශයෙන් රටේ ප්‍රශ්න ආමන්ත්‍රණය නොකළ බවත් ඒ සඳහා කිසිඳු විසඳුමක් ඉදිරිපත් නොවූ බවත් හෙතෙම කීවේය.

ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව සම්පූර්ණයෙන්ම අසමත් බව යළි යළිත් තහවුරු කිරීම පමණක් ජාතිය අමතා සිදු කළ ප්‍රකාශයෙන් තහවුරු වූ බවත් කිරිඇල්ල මහතා තවදුරටත් සඳහන් කළේය.