(බී.ජී.චතුරංග)

උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව උතුරු මැද පළාතේ 11 ශ්‍රේණියේ පාසල් දරුවන්ට දෙවන වාරය සඳහා ලබා දුන් කෘෂි හා ආහාර තාක්ෂණය විෂයට අදාල, ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 5කට පිළිතුරු සපයන ලෙසට ප්‍රශ්න පත්‍රයේ සටහන්ව තිබුණද, ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 4 ක් පමණක් මුද්‍රණය කර තිබීම හේතුවෙන්  පාසල් දරුවන් දැඩි අපහසුතාවට පත්ව තිබේ.

ඉකුත්දා පැවැති දෙවන වාරයේ මෙම ප්‍රශ්න පත්‍රය උතුරු මැද පළාතේ දරුවන්ට ලබා දී තිබූ අතර සාමාන්‍යය ක්‍රම වේදය වන්නේ ප්‍රශ්න 7ක්, ලබා දී ප්‍රශ්න 5ට පිළිතුරු සැපයීම.එහිදී අනිවාර්යෙන් පළමු ප්‍රශ්නය සඳහා පිළිතුරු සැපයිය යුතු අතර ඉතිරි ප්‍රශ්න 6න්, 4ක් තෝරා ගෙන පිළිතුරු සැපයිය යුතුය.

ඉදිරි සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසු සිසුවියන්ට මෙම විභාගය පෙරහුරුවක් වුවද, මෙලෙස ප්‍රශ්න පත්‍රය වැරදි සහගත ලෙස මුද්‍රණය කිරීම හේතුවෙන් ඉදිරි සාමාන්‍ය පෙළ විභාගය සඳහා මුහුණ දෙන දරුවන්ට ගැටලුවක් ඇති වන බව මෙහිදී දෙමව්පියෝ පැවසූහ.

උතුරු මැද පළාතේ මෙවර දෙවන වාරයේම 6 වසර ඉතිහාසය ප්‍රශ්න පත්‍රය 2019 වසරේ වයඹ පළාතට ලබා දුන් ප්‍රශ්න පත්‍රය වීම පිළිබඳවද ඉකුත්දා මාධ්‍ය මගින් අනාවරණය කෙරිණි.

ඒ සම්බන්ධයෙන් උතුරු මැද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ එස්. එම්. ඩබ්ලිව්. සමරකෝන් මහතාගෙන් කළ විමසීමේදී කියා සිටියේ විභාග ප්‍රශ්න පත්‍ර සකස් කිරීමට කිසිදු වියදමක් දරා සකස් කර නැති බවත්, කලාප කාර්යාල වලට යම් යම් විෂයයන් සඳහා ප්‍රශ්න පත්‍ර සකස් කිරීමට බාර දුන් බවය. ඉතිහාසය ප්‍රශ්න පත්‍රය සම්බන්ධයෙන් මේ වනවිට විමර්ශනයක් ආරම්භ කර ඇති බවද හෙතෙම පැවසීය.