(අංජුල මහික වීරරත්න)

යෝජිත අල්ලස් හෝ දූෂණ විරෝධී (සංශෝධන) පනත් කෙටුම්පතේ සඳහන් දැඩි ඇප කොන්දේසි මඟින් මූලික අයිතිවාසිකම් වලට තර්ජන එල්ල වන අතරම බන්ධනාගාර තදබදය තවත් උග්‍ර වනු ඇතැයි ඒකාබද්ධ විපක්ෂය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

අදාල කෙටුම්පත පිළිබඳව දැඩි කනස්සල්ල පළ කරන බවද එම නිවේදනයේ සඳහන්ය.

ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු මහාචාර්ය ජී.එල් පීරිස් මහතාගේ අත්සනින් නිකුත් කර තිබෙන එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.

රජය විසින් ගැසට් පත්‍රයේ පළ කර ඇති, විශේෂයෙන්ම 2023 අංක 9 දරන අල්ලස් හෝ දූෂණ විරෝධී පනතේ 149 වැනි වගන්තිය සංශෝධනය කෙරෙන 17 වැනි වගන්තිය ඇතුළත් අල්ලස් හෝ දූෂණ විරෝධී (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳව ඒකාබද්ධ විපක්ෂයේ දැඩි අවධානය යොමු වන අතර මේ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට කටයුතු කරනු ලබයි.

යෝජිත සංශෝධනයට අනුව, මේ පනත යටතේ වන සියලුම වරදවල් ඇප පනතට අනුකූලව ඇප දිය නොහැකි වරදවල් බවට පත් කෙරේ. වඩාත් තීරණාත්මක කරුණ වන්නේ, යම් තැන්පත්කරුවකු හෝ පුද්ගලයකු හෝ රුපියල් 100,000 ට නොඅඩු අල්ලසක් ඉල්ලා සිටීම, පිළිගැනීම හෝ ලබාදීම, නැතහොත් රජයට රුපියල් 500,000 ට නොඅඩු පාඩුවක් සිදුකිරීම හෝ රුපියල් 500,000 ට නොඅඩු වාසියක්, අනුග්‍රහයක් හෝ ප්‍රතිලාභයක් ලබාගැනීම සම්බන්ධයෙන් සැකපිට හෝ චෝදනාවට ලක්ව ඇති අවස්ථාවලදී (අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කරන ලද සහතිකයක් මඟින් තහවුරු කළ විට), මහාධිකරණය විසින් සුවිශේෂී කරුණු යටතේ හැර ඇප ලබා නොදිය යුතුය යනුවෙන් එහි සඳහන් වීමය.

මේ විධිවිධාන මඟින් අධිකරණයේ විවේචනාත්මක බලතල දැඩි ලෙස සීමා වන අතර, චූදිතයා මත බර පටවනු ලබයි. එමෙන්ම පරීක්ෂණවල මුල් අදියරේදීම පුද්ගල නිදහසට එරෙහි පූර්වානුමානයක් ගොඩනඟයි.  මෙමඟින් වරදකරු වන තෙක් නිවැරදිකරුවෙකු ලෙස සැලකීමේ අයිතිය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි වගන්තිය යටතේ තහවුරු කර ඇති පුද්ගලික නිදහස පිළිබඳ අයිතිය සහ නීතියෙන් පැහැදිලිව නිර්වචනය කර ඇති බරපතලම නඩු සඳහා හැර "ඇප දීම සාමාන්‍ය රීතිය විය යුතු අතර බන්ධනාගාරගත කිරීම සුවිශේෂී අවස්ථාවක් විය යුතුය" යන මූලික සංකල්පය බරපතල ලෙස උල්ලංඝණය වේ.

පනත් සංශෝධනය සම්මත වුවහොත් මානව නිදහසට සහ මූලික අයිතිවාසිකම්වලට එල්ල වන බරපතල තර්ජන

මේ සංශෝධනය දැනට පවතින ආකාරයෙන්ම සම්මත වුවහොත් පහත තත්ත්ව උදාවනු ඇත. 

ඇප දිය නොහැකි වරදවල් ප්‍රමාණය තවත් පුළුල් වන අතර, ඇප දීමේ බලතල මහාධිකරණයට පමණක් සීමා වී, පුද්ගල නිදහස සුරක්ෂිත කිරීමේදී මහේස්ත්‍රාත් අධිකරණවලට ඇති කාර්ය භාරය හීන වී යනු ඇත.