(යොහාන් භාසුර)

දුම්රිය දෙපාර්තමේන්තුව ඉන්දියාවෙන් ආනයනය කළ ‘එම් 11’ පංතියේ එංජින් දෙකක් කොළඹ නගර සීමාව තුළ දුම්රිය ස්ථාන දෙකකදී දෝෂයන්ට ලක්වීමෙන් ‘යාල්දේවී’ දුම්රිය පැය තුනකට ආසන්න කාලයක් අද (18) ප්‍රමාද වී පිටත්ව ගොස් තිබේ.

ගල්කිස්සෙන් අළුයම 5.50 ට කන්කසන්තුරේ දක්වා පිටත්වූ දුම්රිය වැල්ලවත්ත දුම්රිය ස්ථානයේදී පළමුවෙන්ම කාර්මික දෝෂයකට ලක්ව ඇති අතර ඉන් පසුව සවිකළ එන්ජිම මරදාන දුම්රිය ස්ථානයේදී දෝෂයකට ලක්ව තිබේ.

එම දුම්රිය පෙරවරු 6.40 ට මරදාන දුම්රිය ස්ථානයෙන් පිටත්ව යා යුතුව තිබුණ ද වෙනත් එන්ජිමක් සවිකර පැය තුනකට ආසන්න ප්‍රමාදයකින් පසුව පෙරවරු 9.25 ට පමණ පිටත්ව ගොස් තිබේ.

දුම්රිය ස්ථානධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා පවසන්නේ බලධාරීන්ගේ නොසැළකිල්ල නිසා සිදුවන මෙවැනි ප්‍රමාදයන් හේතුවෙන් මගී ජනතාව දැඩි අපහසුතාවට පත්වන බවත් දෙපාර්තමේන්තුව තුළ අවශ්‍ය තරම් කාර්මික ශිල්පීන් සිටිය ද ධාවනය යෙදවීමට පෙර පරීක්‍ෂා නොකිරීමට මෙයට හේතුව බවත්ය.