(සඳලි සත්සරණි)

මෙවර යල කන්නයේ පොහොර සහනාධාරය වෙනුවෙන් රුපියල් කෝටි 1426 කට ආසන්න මුදලක් රට පුරා ගොවි ජනතාවට බෙදා හැරීමට සියලු පියවර ගෙන ඇතැයි ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ධම්මික රණතුංග මහතා පැවැසීය

යල කන්නයේ වී වගා කළ ගොවීන් 728,185 කට සහ කුඹුරු ඉඩම්වල වෙනත් ක්ෂේත්‍ර බෝග වගා කළ ගොවීන් 14,677 කට මෙම මූල්‍ය ප්‍රතිලාභ හිමිවන බව ද හෙතෙම සඳහන් කළේය.

යල කන්නයේදී වී වගා කර අැති කුඹුරු ඉඩම් හෙක්ටයාර් 474,068 ක් සහ වෙනත් බෝග වගා කර අැති ඉඩම් හෙක්ටයාර 6,440 ක් ආවරණය වන පරිදි මෙම මුදල් වෙන්කර ඇතැයි ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.

යල කන්නය ආරම්භයේදීම රජය පොහොර සහනාධාර මුදල ඉහළ නැංවීමට පියවර ගත් බවත් ඒ අනුව වී වගාව සඳහා හෙක්ටයාරයකට දුන් රු. 25,000 සහනාධාරය රු. 30,000 දක්වාත්, කුඹුරු ඉඩම්වල වෙනත් බෝග වගා කිරීම සඳහා පැවති රු. 15,000 සහනාධාරය රු. 18,000 දක්වාත් වැඩි කර ඇති බව ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල්වරයා පැවැසීය.

වෙළෙඳපොළ පොහොර හිඟයක් ඇතිවීම වැළැක්වීමටත් මිල ඉහළ යාමෙන් ගොවීන්ට සිදුවන බලපෑම අවම කිරීමටත් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති අතර දිවයින පුරා ගොවිජන සේවා මධ්‍යස්ථාන 566 හරහා කිලෝග්‍රෑම් 50 යූරියා පොහොර මිටියක් රුපියල් 10,200 මිලකට අලෙවි කිරීමට කටයුතු කර ඇතැයි ද හෙතෙම පැවැසීය.