(නිමන්ති රණසිංහ)

යුරෝ මිලියනක වටිනාකමක් සඳහන් වන ව්‍යාජ ලෙස සකස් කරන ලද මුදල් නෝට්ටුවක අනුරුවක් ශ්‍රී ලංකා රුපියල් මිලියනයකට විකිණීමට තැත්කල සැකකරුවෙක් සහ සැකකාරික් පොලිස්  විශේෂ කාර්ය බලකාය විසින් දෙමටගොඩදී ඊයේ (25) අත්අඩංගුවට ගනු ලැබූහ.

මෙම ව්‍යාජ මුදල් අනුරුව මෙරට මුදලින් රුපියල් මිලියනයකට විකිණීම සූදානම් වෙමින් සිටියදී ලද තොරතුරකට අනුව සැකකරු සහ සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙමටගොඩ ගුවන් පාලම අසල මහවෙල පටුමග දී බව පොලිස් විශේෂ  කාර්ය බලකාය සඳහන් කරයි.

අත්අඩංගුවට ගනු ලැබූ සැකකරු වයස අවුරුදු 45 ක යාගොඩමුල්ල ප්‍රදේශයේ ද, සැකකාර කාන්තාව වයස අවුරුදු 50 ක සේදවත්ත පාර වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි තැනැත්තියක ද වන බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.

පොලිස් විශේෂ කාර්යය බලකා බුද්ධි කොට්ඨාශයෙහි නිලධාරීන්ට ශ්‍රී ලංකා ගුවන් හමුදා බුද්ධි අංශ නිලධාරීන් ගෙන් ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර ඇතැයි වාර්තා වේ.

සැකකරුවන් දෙදෙනා සමඟ රුපියල් මිලියනයක වටිනාකම් සඳහන් ව්‍යාජ මුදල් නෝට්ටු අනුරූව සහ ලොරි රථයක් ජංගම දුරකථන දෙකක් අත්අඩංගුවට ගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සඳහා සැකකරුවන් සහ නඩු භාණ්ඩ දෙමටගොඩ පොලිසියට භාරදී ඇතැයි පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි