( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
කෙරවලපිටිය යුගදනවි තාප විදුලි බලාගාරයේ රජයට අයත් සියයට හතලිහක කොටස් නිව් ෆෝට්‍රස් එනර්ජි නැමැති ඇමෙරිකානු සමාගමකට ලබා දීමට කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය බලරහිත කරන්නැයි ඉල්ලා ගොනු කළ පෙත්සම් සම්බන්ධයෙන් විරෝධතා ඇත්නම් ඒවා ලබන මස 06 වැනිදා හෝ ඊට පෙර ගොනු කරන්නැයි පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල නීතිපතිවරයා , අමාත්‍ය මණ්ඩලය ඇතුළු වගඋත්තරකරුවන්ට අද (29) නියෝග කළේය
අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සහ ධර්මායතනාධිපති පූජ්‍ය ඇල්ලේ ගුණවංශ ,සමගි ජන බලවේගය , වෘත්තීය සමිති ඇතුළු පාර්ශව කිහිපයක් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ අද (29) පෙරවරු 9.45 ට සලකා බැලීම ඇරඹිණි.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතාගේ සභාපතිත්වයෙන් , විනිසුරුවරුන් වන බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මලල්ගොඩ, එල්. ටී.බී.දෙහිදෙනිය යන මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් කැදවිණි
එහිදී පංච පුද්ගල විනිසුරු මඩුල්ල වගඋත්තරකරුවන්ට මෙම නියෝග කළේය.
පෙත්සම සම්බන්ධයෙන් ප්‍රති විරෝධතා ඇත්නම් ඒවාද ලබන 13 වැනිදා හෝ ඊට පෙර අධිකරණය හමුවේ ගොනු කරන්නැයි ද පංච පුද්ගල විනිසුරු මඩුල්ල පෙත්සම්කාර පාර්ශවයට නියෝග කෙරිණි.
ඒ අනුව ගොනු වී ඇති පෙත්සම් සම්බන්ධයෙන් කරුණු සලකා බැලීම ලබන 16 සහ 17 දෙදින සිදු කිරීමට ද පංච පුද්ගල විනිසුරු මඩුල්ල දින නියම කරන ලදී.
අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සහ ධර්මායතනාධිපති පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන්, සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර , වසන්ත සමරසිංහ සහ ලංකා විදුලි සේවකයන්ගේ සංගමයේ ලේකම් රන්ජන් ජයලාල් යන මහත්වරුන් විසින් මෙම පෙත්සම් ගොනු කර සිටිති.
අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කැබිනට් මණ්ඩලය, භාණ්ඩාගාර ලේකම් වරයා, බලශක්ති අමාත්‍යාංශ ලේකම්වරයා, මහජන උපයෝගිතා කොමිසම, එහි සභාපතිවරයා, ලංකා විදුලි බල මණ්ඩලය, එහි සභාපතිවරයා, ලංකා ඛනිජ තෙල් සංස්ථාව, එහි කලමණාකරණ අධ්‍යක්ෂවරයා,වෙස්ට් කෝස් පවර් පෞද්ගලික සමාගම, ඇමෙරිකාවේ නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගම නීතිපති වරයා ඇතුළු 54දෙනෙකු මෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කරනු ලැබ සිටිති.
එම පෙත්සම්වල වගඋත්තරකරුවන් කර සිටින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින් වෙනුවෙන් අද දින නීතිපතිවරයා පෙනී සිටියද එම අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින් වශයෙන් කටයුතු කරන විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර සහ උදය ගම්මන්පිල යන අමාත්‍යවරු වෙනුවෙන් පෞද්ගලික නීතිඥවරයෙකු වන ජනාධිපති නීතීඥ උදිත ඉගළහේවා මහතා පෙනී සිටීම විශේෂත්වයකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd