(අංජුල මහික වීරරත්න) 

අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති සහ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ වැඩබලන නියෝජ්‍ය මහ කොමසාරිස්/පළමු ලේකම් රෝෂිණී තොම්සන් (Roshini Thomson) යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන්  ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ශ්‍රී ලංකාවේ සිදු කළ නිල සංචාරය අතරතුරදී,  අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳපුදා ගැනීමට පැමිණි අවස්ථාවේදී පුජා නගර සංවර්ධන ව්‍යාපෘතියක් වෙනුවෙන් සහය ලබා දීමට එකඟතාව පළ කර තිබූ අතර, ඒ අනුව නාගරික සංවර්ධන අධිකාරිය සහ ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව ඒකාබද්ධ අනුරාධපුර පූජා නගරයේ සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීමට යෝජිතය.

මේ වන විට නාගරික සංවර්ධන අධිකාරිය සහ ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව එක්ව සකස් කළ කෙටුම්පත් යෝජනාවලිය ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය වෙත යොමු කර තිබෙන අතර, එම යෝජනාවලිය සම්බන්ධව මෙම සාකච්ඡාවේදී අවධානය යොමු විය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද පසුගියදා අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම පිළිබඳව මහා සංඝරත්නය සහ ඊට අදාළ සියලු පාර්ශ්ව සමඟ සාකච්ඡා පැවැත්වූ අතර අදාළ ව්‍යාපෘතිය කඩිනම් කිරීමට එහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම ආරම්භ කිරීමට රුපියල් බිලියන 7.7ක මුදලක් වැයවනු ඇතැයි දැනට ඇස්තමේන්තුගත කර තිබේ. ඊට අදාළ මූල්‍යමය දායකත්වය ඉන්දීය රජය විසින්

දරනු ඇති අතර, මෙම ව්‍යාපෘතිය මේ වසර අවසන් වීමට පෙර ආරම්භ කිරීමට අපේක්ෂා කෙරේ.

මෙම ව්‍යාපෘතිය යටතේ අනුරාධපුර පූජා නගරයේ පෞරාණිකත්වය සහ ආගමික පසුබිම ආරක්ෂා කර ගනිමින් ප්‍රවේශ මාර්ග ප්‍රතිසංස්කරණය කිරීමටත්, කැළි කසළ විධිමත්ව බැහැර කිරීමටත්, සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීමටත්, ගරා වැටී තිබෙන සියලු ස්ථාන නැවත ප්‍රතිසංස්කරණය කිරීම ඇතුළු සංවර්ධන වැඩසටහන් රැසක් ආරම්භ කිරීමට නියමිතය.