(යොහාන් භාසුර)

විශ්ව විද්‍යාල ගම්මානයක් ඉදිකිරීමට නාගරික සංවර්ධන අධිකාරියට අයත්ව තිබූ මිල්ලෑව ප්‍රදේශයේ අක්කර 123 ක භූමිය මහපොළ ශිෂ්‍යත්ව භාරකාර අරමුදලට පවරාගත් බවත් විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සියලුම මහපොළ ශිෂ්‍යාධාර වාරික මේ වන විට ගෙවා අවසන් බවත් වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

හිටපු වෙළෙඳ අමාත්‍යවරයෙක් වන දිවංගත ලලිත් ඇතුළත්මුදලි මහතා සිය ධන පරිත්‍යාගයෙන් ආරම්භ කළ මහපොළ ශිෂ්‍යත්ව අරමුදලෙන් මේ වන විටත් උපාධි අපේක්ෂකයින් දහස් ගණනක් ප්‍රතිලාභ ලබා ඇති බව කී වෙළෙඳ අමාත්‍යවරයා අනාගතයේ උපන් නූපන් පරම්පරාවල දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් මෙම අරමුදල සුරක්ෂිත කර පෝෂණය කිරීම වගකීමක් බව ද කීය.

පසුගිය 2020 සහ 2021 යන වසරවලදී ලැබූ රුපියල් කෝටි 200 ක ලාභයෙන් කොටසක් වැය කර එම ඉඩම් කොටස ලබාගත් බවත් එමෙන්ම මහපොළ අරමුදල් පනත සංශෝධනය කිරීම තුළ තවදුරටත් මෙහි ප්‍රතිලාභ සිසු දරුවන් වෙත ලැබීම තහවුරු වනු ඇතැයිද අමාත්‍යවරයා කීය.

වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා වෙළෙඳ අමාත්‍යාංශයේදී පැවති විශේෂ මාධ්‍ය හමුවේදී එසේ පැවසීය.