(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතා ඉවත්වීමෙන් පුරප්පාඩු වූ එම මන්ත්‍රීධූරය සඳහා ලලිත් වර්ණ කුමාර මහතා පත්  කරනු ලැබ සිටී.

ඊට  අදාළ ගැසට් නිවේදනය මැතිවරණ කොමිෂන්  සභාව විසින් ඊයේ(30) නිකුත් කරනු ලැබීය. වර්ණකුමාර මහතා බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකි.

ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති ධූරය බාරගැනීම සඳහා මහින්ද සමරසිංහ මහතා පසුගියදා ඇමරිකාව බලා පිටත්ව ගියේය.

පසුගිය මහමැතිවරණ‍යේදී (2020) කළුතර දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල අනුව ලලිත් වර්ණකුමාර මහතා මනාප ඡන්ද 46,361ක්
ලබා ගත්තේය.

බුලත්සිංහල ආසනයේ පොදුජන පෙරමුණේ, ප්‍රධාන සංවිධායක ලෙස කටයුතු කරන ඒ මහතා "දයාබර මංජු" යන නාමයෙන් ජනතාව අතර ප්‍රසිද්ධියට පත්ව සිටී.ඔහු හොරණ ශ්‍රීපාලි විද්‍යාලයේ  ආදි ශිෂ්‍යයෙකි.