(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න )

රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන් 07 දෙනකුගේ සහ  මහකොමසාරිස්වරයකුගේ   පත්වීම් සඳහා  පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිවූ බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පැවැසීය.

උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී  පසුගිය  (03) වැනිදා  රැස්විය.

මෙසේ අනුමැතිය ලබාදී ඇත්තේ මාලදිවයිනේ මහකොමසාරිස්වරයා ලෙස පත් කෙරුණු  ඒඑම්ජේ සාදික් මහතාගේ  එම පත්වීමටය .

මෙයට  අමතරව කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්  කේ.එම්.එස්.ඩී. ජයසේකර මහත්මියගේ සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එන්.එච්.එම්. චිත්‍රානන්ද මහතාගේ එම  පත්වීම්වලටද  උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිවී ඇත .

දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ඒ.කේ.ඩබ්ලිව්.ඩබ්ලිව්. එම්.එන්.කේ. වීරසේකර මහත්මිය සහ   පසුගාමී ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධන සහ ගෘහාශ්‍රිත සත්ත්ව පාලන හා සුළු ආර්ථික භෝග වගා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා පත් කිරීමටද  එම කාරක සභාවේ අනුමැතිය ලබාදී ඇත.

මීට අමතරව ග්‍රාමීය හා ප්‍රාදේශීය පානීය ජල සම්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ලෙස  එස්.ජී. විජයබන්දු මහතා පත් කිරීමටද ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් හා ගොඩනැඟිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ලෙස   ඉංජිනේරු කීර්ති රංජිත් අබේගුණවර්ධන මහතා පත් කිරීමටද කාරක සභාවේ අනුමැතිය හිමිවී ඇත.

එසේම ජයන්ත චන්ද්‍රසෝම මහතා, විසිතුරු මසුන්, මිරිදිය මත්ස්‍ය හා ඉස්සන් ඇති කිරීම, ධීවර වරාය සංවර්ධන, බහුදින ධීවර කටයුතු හා මත්ස්‍ය අපනයන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත්කිරීමටද උසස් නිලතල පිළිබද කාරක සභාවේ අනුමැතිය හිමි වූ බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය පවසයි.

මෙම රැස්වීමට අමාත්‍යවරුන්වන දිනේෂ් ගුණවර්ධන, ඩග්ලස් දේවානන්දා, බන්දුල ගුණවර්ධන, උදය ගම්මන්පිල, කෙහෙළිය රඹුක්වැල්ල, රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක,  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන    ජෝන් සෙනෙවිරත්න, රිෂාඩ් බදියුදීන්, තලතා අතුකෝරාල, ධර්මලිංගම් සිද්ධාර්ථන්  යන මහත්ම මහත්මීහූ  සහභාගි වූහ.