(යොහාන් භාසුර)

මුල්ලේරියාව දෙල්ගහවත්ත ප්‍රදේශයේ නිවෙසකදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරුවන් දෙදෙනාට නවාතැන් දුන් පුද්ගලයෙක් කොළඹ අපරාධ කොට්ඨාසය අත්අඩංගුවට ගෙන තිබේ.

මුල්ලේරියාව, කොටිකාවත්ත දෙල්ගහවත්ත නිවසකට ඔක්තෝබර් 26 වැනිදා පෙරවරු 6.30 ට පමණ කඩා වැඳුණු තුවක්කුකරුවන් දෙදෙනෙක් වෙඩි තැබීම නිසා තන්තිරිගේ නුවන් මිලින්ද නමැත්ති 42 හැවිරිදි පුද්ගලයා මියගියේය.

හෝමාගම පිටිපන ප්‍රදේශයේ නිවස මුරකරුවෙක් ලෙස සේවය කළ පුද්ගලයෙක් මෙසේ අත්අඩංගුවට ගත් බව කී පොලිසි මීට පෙර එම චෝදනාවටම අදාල පුද්ගලයාගේ සොහොයුරා අත්අඩංගුවට ගත් බව ද සඳහන් කළේය.

මෙම ඝාතනයේ ප්‍රධාන සැකකරු යැයි කියන ‘අංගොඩ ජිලේ’  ඇතුළු  අපරාධකරුවන් දෙදෙනා පසුගිය ඔක්තෝබර් 26 වැනිදා සිට 29 වැනිදා දක්වා පිටිපන ප්‍රදේශයේ උස තාප්පයකින් යුත් විශාල ඉඩමක පිහිටි නිවෙසක සැගව සිට ඇති  බවත්  අපරාධ කොට්ඨාසය සදහන් කරයි.

මෙම ඝාතන සිද්ධියේ සැකකරුවන්ට ප්‍රථමාධාර ලබාදුන් රෝහල් සේවකයෙකු ඇතුළු පුද්ගයන් තිදෙනෙක්, අපරාධය සඳහා යොදාගත් ගිනිඅවිය භාරගත් පුද්ගලයන් දෙදෙනා සහ සැකකරුවන් පලා යෑමේදී ඔවුන් ගමන් ගත් වාහනය අනතුරකට ලක්වීමෙන් පසු රක්ෂණ සමාගමකට එම තොරතුර ලබාදුන් පුද්ගලයෙක් කොළඹ අපරාධ කොට්ඨාසය මේ වන විට අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹ අපරාධ කොට්ඨාසයේ අපරාධ බුද්ධි ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක දුනුසිංහ මහතාට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව එහි කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කුමාරසිංහ මහතා ඇතුළු නිලධාරීහූ මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට සමත් වූහ.

මෙම ඝාතනයේ ප්‍රධාන සැකකරුවන් දෙදෙනා මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැත.