(ඩයනා උදයංගනී)

ජාත්‍යන්තර රොටරි සමාජය මගින් මෙරට තරුණ තරුණියන්ට පිලිපීනයේ රාජ්‍ය  විශ්ව විද්‍යාලයකදී තොරතුරු තාක්ෂණ උපාධිය හැදෑරීම සඳහා ශිෂ්‍යත්ව 500ක් පිරිනමා ඇත.

මෙම ශිෂ්‍යත්ව ප්‍රදානය ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටින රොටරි සමාජයේ ජාත්‍යන්තර සභාපතිනි ජෙනිෆර් ජොනෙස් මහත්මියගේ අතින් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ දී සිදුකෙරිණි.

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය.

Jump Start Sri Lanka - නමින් හඳුන්වා දී ඇති මෙම ශිෂ්‍යත්ව වැඩපිළිවෙල නම් කර ඇති අතර, එම ශිෂ්‍යත්වයන්හි වටිනාකම රුපියල් කෝටි 200ක් පමණ වේ.

ශ්‍රී ලාංකීය තරුණ තරුණියන්ට මෙම ශිෂ්‍යත්ව ලබාදීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර රොටරි සමාජයේ සභාපතිනි ජෙනිෆර් ජොනෙස් මහත්මියට කෘතඥතාව පල කරන බව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසීය.

මෙය සිවු වසරක උපාධි පාඨමාලාවක් වන අතර, ඉදිරියේදී ද ශ්‍රී ලාංකීය තරුණ පිරිස් වෙත මෙවැනි ශිෂ්‍යත්ව ලබාදීමට කටයුතු කරන බව ජාත්‍යන්තර රොටරි සංගමයේ සභාපතිනිය පැවසුවාය.