
(සුජිත් හේවාජුලිගේ)
ආහාර හිඟය නිසා දරුවන්ගේ මන්දපෝෂණය සීඝ්‍ර ලෙස වැඩිවෙමින් පවතින බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ලංකාදීපයට පැවැසීය.
කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට පසුගිය දින කිහිපයේදී ඇතුළත් කෙරුණු ළමයින් පනස් තුන් දෙනෙකුගෙන් එකොළොස් දෙනෙකු මන්දපෝෂණයෙන් පෙළෙන බවද හෙතෙම සඳහන් කළේය.
මින් සිවුදෙනකුගෙන් උග්‍ර මන්දපෝෂණ ලක්ෂණ පෙන්නුම් කෙරෙන බව පැවසූ විශේෂඥ වෛද්‍යවරයා මේ දරුවන්ට විශේෂ පෝෂණ ආහාර වේල් ලබාදීම ආරම්භ කළ බවද පැවසුවේය
වාට්ටුවට ඇතුළත් ඇතුළත් කෙරෙන දරුවන්ගෙන් සියයට විස්සකට පමණ මන්දපෝෂණ ලක්ෂණ පෙන්නුම් කෙරෙන බවද ඔහු කීවේය.
මේ තත්වය වළක්වා ගැනීම සඳහා ගෙවතු වගාවට මවුපියන් වැඩි වැඩියෙන් යොමු විය යුතු බවත් කෙටිකාලීනව ඵලදාව ලැබෙන පෝෂදායි ආහාර වර්ග වගාව කෙරෙහි මෙහිදී විශේෂ අවධානය යොමු කළ යුතු බවත් දීපාල් පෙරේරා මහතා පෙන්වා දුන්නේය.
සිය මිදුලේ ඉඩකඩ සීමිත වුවත් බතල දණ්ඩක් මඤ්ඤොක්කා දණ්ඩක් සිටුවා ගැනීමට කටයුතු කළ යුතු බවද හෙතෙම සඳහන් කළේය.
මේ අතර දියවැඩියාවෙන් පෙළෙන දරුවන්ගේද වැඩිවීමක් දක්නට ලැබෙන බව පැවසූ විශේෂඥ වෛද්‍යවරයා දියවැඩියාවෙන් පෙලුණු දරුවන් 100 කට වැඩි පිරිසක් පසුගිය දිනවල වාර්තාවූ බවද කීවේය.
කොවිඩ් කාලයේදී ඇතිවූ මානසික ආතතිය සහ විවිධ ශාරීරික ක්‍රියාකාරකම් අඩුවීම යනාදි කරුණු දරුවන්ට දියවඩියාව වැළඳීමට ප්‍රධාන වශයෙන් හේතු වන්නට ඇතැයි විශ්වාස කෙරෙන බව ඔහු වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බඩු මිල ඉහළ යෑම හතර පස් ගුණයකින් වැඩිවෙලා. ඒ වගේම රටේ නිසි පාලනයක් නැතිවා වගේම මිල පාලනයක් ද නැහැ. මිල පාලන අංශ නිකං පඩි ගන්නවා. කිසිදු සේවයක් රට වෙනුවෙන් කරන්නේ නැහැ. කළු කඩ කාරයන් ජාත්‍යාලය හා දේශපාලනය පෙරට දාගෙන හිතු හිතු විදිහට බඩු මුට්ටු ගිනි ගණන් යවනවා. ජනතාව හාමතේ. දේශපාලකයන් පිස්සු නටනවා.