(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න )

සියලුම මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට සෑම පියවරක්ම ගෙන ඇතැයි  කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාලිමේන්තුවේදී අද (8) පැවැසීය.

ඔහු මෙසේ පැවසුවේ  සභාවේ  කටයුතු ආරම්භයේදී විශේෂ ප්‍රකාශයක් කරමිනි.

කතානායකවරයා එහිදී මෙසේද ප්‍රකාශ කළේය.

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් ඊයේ  මා හමුවී පාර්ලිමේන්තුවේ වැඩ  කටයුතුවලට සහභාගීවීමේදී  ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලීමක් කළා. මෙම සභාව නියෝජනය කරන සියලුම මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව ලබා දීම සහ ඒ සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු කිරීම කතානායකවරයා වශයෙන් මූලික වගකීමක් පැවරී ඇති බව විශ්වාස කරනවා. ඒ අනුව සියලුම මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව සැපයීම සඳහා අවශ්‍ය සෑම පියවරක්ම මේ වනවිටත් ගෙන තිබෙන බව මේ ගරු සභාවට දැනුම් දෙනවා. කෙසේවුවද පසුගිය දිනවල ඇතිවූ අවාසනාවන්ත සිද්ධීන්  නැවත ඇති නොවන ලෙස  මනා සංයමයකින් යුතුව පාර්ලිමේන්තුවේ සභා ගර්භය තුළ වැඩ කටයුතුවල නිරතවීමටත්  විශේෂයෙන් කතා කිරීමේදී ඉතාමත් ආවේගශීලීව හා  අනෙකුත් මන්ත්‍රීවරුන්ට පෞද්ගලිකව  අපහාසාත්මක චෝදනා එල්ල කිරීමෙන් වැලකී කටයුතු කිරීමේ අවශ්‍යතාවද  පෙන්වා දෙනවා.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා:

මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව පිළිබඳව  අවධානය යොමු කිරීම ගැන අප ඔබතුමාට ස්තූතිවන්ත වෙනවා. ඔබතුමා කමිටුවක් පත්කිරීම ගැන කිව්වා.

සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා:

මේ වගේ දේවල් තවදුරටත් ඇති  නොවන්න ඔබතුමා සහතිකයක්  දෙන්න.  නැතුව මේක දිගට ඇදගෙන යෑම තේරුමක් නෑ.

සමගි ජන බලවේගයේ මොණරාගල දිස්ත්‍රික් මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා:

පාර්ලිමේන්තු ගැන තිබෙන මතය වෙනස් කරගන්න අපි  දෙසිය විසි පස් දෙනාම  කටයුතු කළ යුතුයි. වාද විවාදවලින් පස්සේ පහර දෙනවා නම්  ඒක තමයි අපේ කණ්ඩායමට තිබුණු ප්‍රශ්නය. මේ පාර්ලිමේන්තුව ගෞරවනීය තැනක් බවට පත් කිරීමට අපි කටයුතු කරමු

කතානායක:

සිද්ධිය ගැන මම කනගාටු වෙනවා. සභාව සිදුවන දේවල් උසාවි ගෙනයෑම අරමුණක් නැහැ සභාව තුළ විසඳාගැනීම අරමුණයි අපි කමිටුවක් පත් කරලා තියෙනවා. ඒ කමිටුවේ අය මේ ගැන තීරණයක් ගනී.