
(නිමන්ති රණසිංහ)
හොරොයින් සඟවා ඇති ස්ථානයක් ගැන කොළඹ අපරාධ කොට්ඨාසයට තොරතුරක් ලැබෙන්නේ එහි රදවා තබාගෙන ප්‍රශ්න කරමින් සිටින සමරසිංහ ආරච්චිගේ මදූෂ් ලක්ෂිත නොහොත් මාකදුරේ මදූෂ් ගෙනි. ඒ ඊයේ (19) රාත්‍රීයේදීය.
‘සර් තව බඩු වගයක් තියෙනවා.
‘කොහොමද ගන්නේ ?‘
‘මං කතා කරන්නම්.
මධූෂ්, කොළඹ අපරාධ කොට්ඨාස නිලධාරීන්ට හෙරොයින් සම්බන්ධයෙන් ඔත්තුවක් ලබා දීමට සැරසුනේ ඒ අයුරිනි.
‘තැන කොතනද?
‘මාලිගාවත්ත ඇපල් වත්තේ.
ඒ අනුව වහා ක්‍රියාත්මක වූ පොලීසිය මධූෂ්ට ඇමතුම් ලබා ගැනීමට පහසුකම් සලසන්නේ හෙරොයින් වැටලිම සදහාය. මධූෂ්ගේ ඔත්තුවෙන් කුඩු ගෙනත් තබන්නට ඡාවාරම්කරුවෝ දෙවරක් නොසිතූහ. ඒ අනුව අද (20 වැනිදා) අලුයම කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් නිලධාරීන් 16 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සමග මාකදුරේ මධූෂ් ද යන්නේ හෙරොයින් සොයා ය. ස්ථානය වූයේ මාලිගාවත්ත ඇපල්වත්තේ ලක්සෙත මහල් නිවාස සංකීර්ණයය. වේලාව පාන්දර තුන පසුවූවා පමණය.
‘තැන හරි නේද‘?
‘හරි. දහවැනි තට්ටුවේ දහ වැනි ගෙදර.
මෙහෙයුම ක්‍රියාත්මක විය. පොලිස් නිලධාරීන් වහ වහා මහල් නිවාසයේ තරප්පු පෙළ දිගේ ඉහළට යන්නට වූහ. ඔවුන් සමග මධූෂ් ද පෙරමං සලකුණු කියමින් ඇවිද ආවේය. එහෙත් හදිස්සියේ ඔවුන් දෙසට එල්ල වූවේ වෙඩි ප්‍රහාරයකි. එයින් පොලිසියේ දෙදෙනකු තරප්පුපෙළේ ඇද වැටිණ.
තත්ත්පර ගණනක් තුළ ඇතිවූ වෙඩි හුවමාරුවත් සමඟම මහල් නිවාස සංකීර්ණයේ ආසන්න මාවතේ දී ද ගිගුරුම් හඩක් නංවන්නට විණී. පොලීසියට වෙඩි තබා ඇත්තේ ඒ වන විටත් එම ස්ථානයේ සැගව සිටි නාඳුනන පුද්ගලයන් කිහිප දෙනෙක් විසිනි.
මහ හඬක් නංවමින් පිපිරී ගොස් තිබුණේ කිසිවකු හෝ පොලීසියේ වෑන් රථයට එල්ල කළ අත් බෝම්බයයි. එහිදී ඇතිවූ වෙඩි හුවමාරුවෙන් මාකදුරේ මදූෂ් සදහටම නෙත් පියා ගන්නේ මෙතෙක් පාතාල ලෝකයේ මෙන්ම සංවිධානාත්මක අපරාධ ලෝකයේ ගෝඞ් ෆාදර් වීමේ සිහිනය ද දරාගෙනය.
අවි ගත්තෝ අවියෙන් නසිති යන දහම සනාත කරමින් මේ වන විට මදූෂ් මෙලොව හැර ගොස් ඇත. මෙම වෙඩි හුවමාරුවෙන් පොලිස් නිලදරුවන් දෙදෙනකුද කලවා ප්‍රදේශයට වෙඩි වැදීම නිසා මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිති. මෙලෙස වෙඩි වැදී ඇත්තේ පොලස් කොස්තාපල්වරුන් වන 30017 අතපත්තු සහ 90242 කුමාර යන නිලධාරීන් ය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිතීඥ අජිත් රෝහණ මහතා සදහන් කරන්නේ මෙම මෙහෙයුමේදී අදාළ මහල් නිවාසයේ නිවසක තිබී රුපියල් කෝටි 22 ක් වටිනා හෙරොයින් කිලෝ ග්‍රෑම් 22ක් සොයා ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාසයට හැකිවූ බවය.
එසේම මෙම සිද්ධිය වූ ස්ථානය සම්න්ධයෙන් ස්ථානීය පරීක්ෂණය මෙන්ම මෘත ශරීරය පිළිබද මහේස්ත්‍රාත් පරීක්ෂණය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජනී ද සිල්වා මහත්මිය විසින් අද උදෑසන පවත්වනු ලැබුවාය.
මෙහිදී මාකදුරේ මධූෂ් ගේ විවාහක බිරිද මෘත ශරීරය හඳුනාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේය. සිද්ධිය වූ ස්ථානයේ තිබූ බ්‍රවුනින් වර්ගයේ පිස්තෝල දෙක සහ යතුරු පැදිය සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණ ආරම්භ කර ඇති බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
මාකදුරේ මධූෂ් විසින් කොළඹ අපරාධ කොට්ඨාසයට ලබා දෙනු ලැබූ ඔත්තුවට අනුව හොරොයින් සහිත නිවස පිළිබදව ඉකුත් ජුනි මස 10 වැනිදා ද පුවත් මවන්නට වූ ස්ථානයක් විය. එනම් මාලිගාවත්ත ලක්සෙත සෙවන මහල් නිවාස සංකීර්ණයේ දස වැනි මහලේ පිහිටි දස වැනි නිවසේ සිදුවූ වෙඩි තැබීමය.
එම වෙඩි තැබීමෙන් මිය යන්නෙන් මොහොමඞ් රහීම් අබ්දුල් රවුෆ් නැමැති 38 හැවිරිදි පුද්ගලයෙකි. රවුෆ්ට වෙඩි වදින්නේ මොහොමඞ් සාෆි හුසේන් මොහොමඞ් හස්මි නොහොත් ෆවුමි නැමැත්තාගේ මෙම නිවස තුළදීය. මාස තුනකට අධික කාලයක් මරුවා සමග සටන් කළ රවුෆ් අවසන් ගමන් ගියේය.
රවුෆ් යනු කංජිපානි ඉම්රාන්ගේ එදිරිවාදියකුව සිටි අයෙකි. ෆවුමි නැමැත්තා රවුෆ් යන අයව ලක්සෙත සෙවන නිවසට කැදවා ගෙන අවුත් සාදයක් පවත්වන්නේ කංජිපානි සහ රවුෆ් මිතුරු කිරීමේ අරමුණෙනි. සාදය අවසන් වන්නේ රවුෆ් වෙඩි කෑමෙන් අනතුරුවය. මේ ලක්සෙත සෙවන දෙසින් මීට මාස හතරකට පමණ පෙර ඇසුණු කතාවයි.
කංජිපානි ඉම්රාන් යනු මේ වන විට බූස්ස බන්ධනාගාරයේ රදවා සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු මෙන්ම හෙරොයින් මත්ද්‍රව්‍ය ඡාවාරම්කරුවෙකි. කොටින්ම කියතොත් කංජිපානි යනු මධූෂ්ගේ අතිජාත මිත්‍රයාය.
මාකදුරේ මදූෂ් ඩුබායි රාජ්‍යයට ගෙන්වා ගන්නේ කංජිය. කංජිත් මධූෂුත් ඩුබායි රාජ්‍යයේ පොලීසියට කොටු වන්නේ මදූෂ්ගේ දියණීයගේ සුපිරි උපන්දින උත්සවයේදීය. ඒ 2019 පෙබරවාරි මස 05 වැනිදාය. මෙහිදී එරට පොලීසිය මධුෂ් ඇතුලු පිරිසක් අත්අඩංගුවට ගත් අතර වරින් වර සැකකරුවන් මෙරටට පිටුවහල් කරන්නට විය. කංජිපානි ද එසේ මෙරටට පිටුවහල් කළ අයෙකි.
පසුව මෙරටින් කරන ලද ඉල්ලීමකට අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් පිටුවහල් කර ශ්‍රී ලංකාවට එවීමෙන් පසු මධූෂ් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට පත් වන්නේ ඉකුත් 2019 මැයි මස 5 වැනිදා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදීය. වසර එකහමාරකට වැඩි කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටි මධූෂ්, එහි සිටියදී පවා ඔහුගේ මත්කුඩු ඡාලය බස්නාහිර පළාත මෙන්ම දකුණු පළාත කේන්ද්‍ර කර ගනිමින් විහිදීගොස් ඇති බව නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සදහන් කර සිටියේය.
එසේ, මාකදුරේ මධූෂ්ගේ පාපොච්චාරණයෙන් රුපියල් කෝටි 33 ක අධික හොරොයින් කිලෝ 33ක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කර ගැනීමට හැකිවූ බව ද නියෝජ්‍ය පොලිස්පතිවරයා සදහන් කළේය.
පාතාලයේ මෙන්ම සංවිධානාත්මක අපරාධ ඡාලයේ ‘ගෝඞ් ෆාදර්‘ ලෙසින් කිරුළ පලදින්නට පෙරුම්පුරමින් සිටි මාකදුරේ මධූෂ් කොළඹ අපරාධ කොට්ඨාසය වෙත එම නිලධාරීන් විසින් රැගෙන එනු ලබන්නේ ඉකුත් 16 වැනිදාය. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැදවුම් නියෝග මත වසර එකහාමාරකට වැඩි කාලයක් රදවා තබාගෙන ප්‍රශ්න කිරීම්වලින් අනතුරුවය.
මත්ද්‍රව්‍ය වැටලීම් සම්බන්ධයෙන් මාකදුරෙ මධූෂ් මුලින්ම කට අරින්නේ ඉකුත් 17 වැනිදා උදෑසන. ඒ කොටිකාවත්ත වැලිවල ප්‍රදේශයේ ගරාජයක් තුළ සගවා තිබියදී හෙරොයින් කිලෝ ග්‍රෑම් 11කට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාසයට හැකි වීමත් සමගමය.
දකුණු පළාත් සභා මන්ත්‍රී ඩැනී හිත්තැටිය මහතා ඝාතනයත් සමග පාතාල ලෝකයේ කරලියට එන මධුෂ් අද වන විට අවසන් ගමන් ගොස් ඇත්තේ පාතාලයේ බොහෝ දෙනෙකු භීතියට පත් කරමිනි. නැවත වරක් සිහිපත් කළ යුතු වවන්නේ අවිගත්තෝ නසින්නේ අවියෙන් ම බවය



( ඡායාරූප ළහිරු හර්ෂණ)
COMMENTS
ලස්සන කතාවක්...
පත්තරේට නෙමෙයි, ගොසිප් ලියන්න හොඳයි.
හරිම අමුතු ඒ වගේම ලස්සන කතාවක්. ඕවා හොඳයි කොණ්ඩෙ බැඳපු චීන්නුන්ට. ආ... වැරදුණා කොණ්ඩෙ බැඳපු ලංකාවේ එවුන්ට.
මුලු රටම දන්නවා මධූෂ් ඉන්නේ පොලිස් භාරයේ කියලා. රහස් පොලිසිය ඇතුලේ දෙන දුරකථන ඇමතුම විශ්වාස කරන කුඩු ජාවාරම් කාරයෝත් ඉන්නවද? අනික මධූෂ් ඔය තැනට නොගිහින් ගූගල් මැප් එකෙන් තැන හරියට පෙන්නුවා නම් ඉවරයිනේ..
මට හිනා යනවා...
අරයා අල්ලගෙන ආවා. මෙයා පාතාලෙටම ඇරියා. පාතාලය වැනසීම කිව්වට කට වැසීමේ අලුත් ක්‍රමවේදය වෙන්නත් බැරි නෑ.
එළිවෙන ජාමෙට තව හොඳ හොඳ කතා ඇහෙයි. හැබැයි ඊට කලින් මදූෂ්ගේ කතාව නිහඬ විය. ඒ සමහර වගකිව යුත්තෝ ඒ කතාවෙන් එළියට එන නිසාද?
කවුරුන් හෝ නීතිය අතට ගැනීම මහා විනාශයකි.
මේක තමයි සංසාරේ හැටි. උතුම් මනුස්ස ආත්මයක් ලබාගෙන පින්බිමක ඉපදිලත් අනේ කුඩුවලින් ඉහළ ගිය දුර ධර්මයෙන් ගියා නම් මොනතරම් ජීවිතේට සාධාරණයක් කර ගත්තා වෙනවද? හිර ගෙවල්වල මොනතරම් ධර්මය දේශනා කරනවද? මොවුන් ඒ වෙලාවටත් තව කෙනෙක් මරන්නේ කොහොමද කියලා සැලසුම් කරනවා ඇති. අම්මා මැරිලා තියෙන්නේ වෙඩි වැදිලා. මල්ලි මැරිලා තියෙන්නේ වෙඩි වැදිලා. මේ පවුලම සසරේ මේ වගේ අකාලේ මැරී මැරී යන ගමනක් වෙන්න ඇති තියෙන්නේ. ද්වේශය වයිරය නිසාම. අම්මාගේ මල්ලිගේ මරණ දෙක අාදර්ශයට අරන්, හරි පාර තෝරාගන්න බැරි වුනේ කරුමයකට තමයි. ලක්ෂ ගණන් තරුණ ජීවිත උමතු කරවලා මිනීමැරුම් කරලා ගොඩ ගහගත්ත පව් කන්දරාව ගොනා පසුපස එන කරත්ත රෝදේ වගේ මතු උපදින සසරේ උමතු වෙලා උපදින්නත්, අකාලේ මැරෙන්නත් හේතුවෙයි. කල්ප ගණන්... කණගාටුයි දුර්ලභව ලබාගත් මනුෂ්‍ය ජීවිතයට සාධාරණයක් නොකරගත්ත එකට... වෙන මොනවා කියන්නද?
වචන රචනා කරනවා කියන යෙදුම වඩාත් ගැලපෙන ලිපියක්... ඔත්තුවක් දුන්නත් මේ වගේ සංවිධානාත්මක අපරාධකරුවෙකු මෙලෙස රැගෙන යනවද? මොහුව රැගෙන එන බව අනෙක් පාර්ශවය දැනගත්තේ කෙලෙසද? ලංකාවේ පොලිස් කතා....
ලොකු ලොක්කන්ගේ රහස් මාකඳුරේ මධූෂ් සමගම මියයනු ඇත. සුදු කැස්බෑවන්ද නිදහසේ තවදුරටත් ගී ගයමින් සතුටින් නිදහසේ ඉන්නවා ඇත.
අනුරාධපුර කැණීම්වලින් හොයාගත්තු පිස්තෝලයක්.. ඕකෙන් වෙඩි කෑවාම මැරෙන්නේ පිටගැස්ම හැදිලා. මේක පුදුම ශ්‍රී ලංකාවක්...
මැරුණු එකට දුකක් නැහැ. මෙයාගෙන් මේකට සම්බන්ධ තෝරු, මෝරුන්ගේ විස්තර දැනගන්න නොලැබීම ගැන තමයි දුක.
මේ වගේ කුඩුකාරයෝ, අපරාධකාරයෝ මේ විදිහට හරි බඩු පෙන්නන්න ගෙනිහිල්ලා ඉවරයක් කරලා දාන එක ලොකු දෙයක්... උසාවි දාලා, නඩු දාලා තිබුණොත් ඒවා කවදාවත් විසඳෙන්නේ නෑ. කොහොම හරි ඇප අරන් එළියට එනවා. හැබැයි වැඩේ තියෙන්නේ මේවාට සම්බන්ධ ප්‍රධානියෝ ලොකු ලොක්කන් ටික ෂේප් වෙනවා.. මේ කුඩු ගෙන්වන ප්‍රධානියාගේ නම එළියට එන්න කලින් මෙහෙම කරපුවාම ඒ විස්තර නම් යට යනවා හිතාමතාම ඒවා යට ගහන්න කරපු වැඩක් වගේ තමයි පේන්නේ..
මෙවැනි සුරංගනා කතා ගොතන අයටත්, නීතිය අතට ගන්නා අයටත් කවදාහරි මෙවැනිම ඉරණමකට මුහුණ පාන්නට සිදුවිය හැකිබව මතක තබාගත යුතුයි.
මීට දින 2 කට පෙර ගොසිප් සයිට් එකකින් මම දැක්කා. මදූෂ් කුඩු ගෙන්වන දේශපාලකයන් සහ තමාගෙන් සල්ලි ගත්ත දේශපාලකයන් ගැන තොරතුරු වමාරන නිසා මරා දැමීමට නියමිතයි කියලා. “අපිව පාතාලයේ කෙරුවෙත් කුඩු දෙන්නෙත් මහලොකු මිනිස්සු..” මම ඒ ගොල්ලන්ගේ සියල්ල හෙළි කරනවා..” එම ගොසිප් ලිපියේ තිබුණු කොටසක්...
උදාහරණයකට, පොලිස් අත්අඩංගුවේ සිටින මධූෂ් දෙන දුරකතන ඇමතුමක් ලද පමණින්, කුඩු ගෙනවිත් දෙන ජාවාරම්කරුවන් සිටිත්ද?, තවද, සිරබාරයේ සිටියදී පවා මධූෂ් සිය ජාලය මෙහෙයවූ බව මෙතැන සඳහන්ය. එතැන වරද කාගේද? අනෙක් අතින් අපරාධකරුවකු වේවා වෙඩි කා මළේ යැයි අප සතුටු නොවිය යුතුව තිබෙන බව මගේ හැඟීමයි. සාධාරණ සමාජයක අනිවාර්ය අංගයක් විය යුත්තේ සියලුදෙනාට සමානව යුක්තිය ඉටුවීමයි. එය නොමැති තැන, මෙවන් දෙයක් ඔබට හෝ මට සිදුවන තුරුම මේ "සිස්ටම් එකේ වරදක්" තිබෙන බව සිතෙන්නේම නැත...
මේ විදිහට අවනීතියෙන් පොලිස් නිලධාරීන් අලුගෝසුවන් කරමින් මරණ දඬුවම දෙන්නේ නැතිව මුලින්ම උසාවියෙන් මරණ දඬුවම නියම වෙලා ඉන්න පුද්ගලයන්ට ඒක නීත්‍යානුකූල විදිහට ක්‍රියාත්මක කරන්න. එතකොට සමාජය හැදෙනවා. කොච්චර දරුණු ගණයේ අපරාධකාරයෙක් වුණත්, කැලේ නීතියෙන් දෙන දඬුවම් ලංකාවේ ජනතාව අනුමත නොකරන බව දැමූ කමෙන්ට්වලින් පෙන්නුම් කරනවා.
ලිපිය කියවන මොහොතේ පටන්ම හිනායනවා.
රහස් පොලිසිය ඇතුලේ දෙන දුරකථන ඇමතුම විශ්වාස කරන කුඩු ජාවාරම් කාරයෝත් ඉන්නවද? පොලිසියේ සුරංගනා කතාවක් !
අනේ අපරාදේ මනුෂ්‍ය ජීවිතයක්..
මොන බොරු සුරංගනා කතාවක්ද මේ? මම මධූෂ්ගේ මෘත ශරීරයේ පින්තූර දැක්කා. හිටපු ආරක්ෂක නිලධාරියෙක් විදිහට වගකීමෙන් කියන්නේ මිනිහා බිම දණගස්සලා ඔලුවට ටී56න් වෙඩිල්ලක් තියලා පිටිපස්සේ ඉඳන්. බොරුනම් මිනිහගේ තුවාල අධ්‍යයනය කරලා බලන්න. මොනවා වුණත් මොහු දඬුවම් විඳ මිය යායුතු කෙනෙක්.. නමුත් කතාව අන්තිමයි.
මාකඳුරේ මධූෂ්ව ආයුධ පෙන්නන්න එක්ක ගිහින්.
පාතාලය හා කුඩු, මේ එකිනෙක බැඳී පවතින්නේ ඉහල හස්තයකින් ලැබෙන ආරක්ෂාවෙන්.
විස්සේ එක් බිල්ලක් දෝ ජනයා විමතියෙන්...
ඔය සුරංගනා කතාවක් ද?
එන්න අපි පිළිවෙතින් රැවටෙමු.... දේශබන්දුට...
කතාව කියවගෙන යනකොට නිකන් ඩ්‍රාමා එකක් වගේ. වැරැදුණු තැනක් තියෙනවා ඩ්‍රාමා එකේ. CID එකේ ඉඳන් කෝල්කරන කොට මධූෂ් උත්තර දෙන සැකකරු සැකහිතන්නේ නැතිව කුඩු දෙන්න යනවා මධූෂ්ට ... ඒ සීන් එක ප්‍රැක්ටිකල් නැහැ වගේ.
"මොන බොරු සුරංගනා කතාවක්ද මේ?" කොහෙද හලෝ සුරංගනා කතා තිබෙන්නේ?
මේ චිත්‍රකතා පත්තරයක්ද කියලා දෙපාරක් බැලුවා. පොඩි ලැසීගේ එකත් දැන්ම ලිව්වා නම් ලේසියි නේද?
‘පොලිසි නිලදරුවන්‘ ලස්සනටම රචනා කරලා තියෙනවා මේ කතාව. ගොඩක් ලකුණු දෙන්න පුළුවන්.
ඊගාවට කවුද කුඩු හෝ ආයුධ පෙන්නන්න යන්නේ...?
කථාවක් ගොතන කොට අඩුගණනේ 2,3 පන්තිවල ළමයින්ට කියවන්න තියෙන කතන්දර පොතක්වත් කියවනවා නම් හොඳයි. එතකොට මුල, මැද, අග ගලපලා තර්කානුකූල කථාවක් ගොතාගන්න පුළුවන්. පවතින ක්‍රමයේ අර්බුදය ජනතාව විසින් නොපමාව තේරුම් නොගත්තොත් ඔය උණ්ඩ සාමාන්‍ය ජනතාව වෙත එල්ලවෙන දවස ඈතක නෙවෙයි. උගන්ඩාව වගේ රටවලත් පටන්ගැන්ම ලියැවුනේ මෙහෙමයි. ඉතිහාසය නොදත් නොකියවන සහ හදාරනු නොලබන රටකට, ජාතියකට අත්වන ඉරණම ශෝචනීයයි. ඉතිහාසය මේ සියල්ලට සාක්ෂි දරයි.
‘‘ගම්පෙරළිය කාලේ‘‘... මෙන්න බඩු. ලියලා තියෙනවා... තිත්ත. කොච්චර දක්ෂයෝද අප්පා ආසිරිලන්තේ එන්නේ.
මෙයාව අරන් ඇවිත් අවුරුද්දක් විතර වෙනවා. අනික ආණ්ඩු දෙකෙන්ම මෙයාගෙන් ගන්න ඕනෑ විස්තර ගන්න ඇති. නැත්තං කන්න බොන්න දිදී තියාගෙන හිටියා කියලා හිතන්න බෑ. අනික මුවත් නඩු දාලා මරණ දඬුවම දුන්නත් උසාවියෙන් ගිහිල්ලා දාන්නේ බූස්සට.. පස්සේ මූ ආපහු කරන්නේ මැරෙනකම් ඕවාම තමයි. මොකද මෙහේ එල්ලලා මරන්නේ නෑ නේ.. අනික දැන් අර වෙලේ සුදා, කන්ජිපානිය. ලැසී වගේ අය මොන වදයක්ද...? උපවාස කරනවා. නාකොටික් එක පොලිසිය සල්ලි දීලා ගන්නවා. ඊට වඩා හොඳයි මේ ඔක්කොම ඉවර කරන එක...
පොලිසියත්, ජාතික චිත්‍රපට සංස්ථාවත් එකක්ද?
මාරම විහිළු හිනා යනවා ඕයි...
තම සාමාජිකයන් 60000ක් විතර ඝාතනය වුණා. ඒක වෙනුවෙන් හඬ නගන්නේ නැති ජෙප්පන් මධූෂ් වෙනුවෙන් පෙනී හිටිනවා. අපූරු සමාජවාදය..! ජෙප්පන් සල්ලි හොයන්නේ කුඩු විකුණලාද?
පිටපත හොඳ නැහැ. ඉස්සරහට කරන නාට්‍යවල හොඳ කෙනෙක්ට කියලා ලියවාගන්න.
මදූෂ් එක්ක සම්බන්ධ දේශපාලකයින් ගැන කතා කරන්න එකෙක් නෑ. ඒ අය අද මදූෂ් ඉවර කරලා හෙට තවත් එකෙක් හුරතල් කරයි. අනිද්දාට ඌවත් මරලා දායි.
මේක ලිව්ව කෙනාට වසරේ හොඳම සම්මානය ලැබේවා...!!!