(අංජුල මහික වීරරත්න)

“බුද්ධරශ්මි” වෙසක් කලාපයට සමගාමීව ජනාධිපති කාර්යාලය විසින් සංවිධානය කරන ලද  “වෙසක් බැති ගී සරණිය” ජනාධිපති කාර්යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

ත්‍රිවිධ හමුදාවේ සහ ශ්‍රී ලංකා පොලිසියේ බැති ගී කණ්ඩායම් සහ කොළඹ පාසල් කිහිපයක බැති ගී කණ්ඩායම් වල සහභාගීත්වයෙන් මෙම භක්ති ගීත වැඩසටහන් අඟහරුවාදා (2) දක්වා සෑම දිනකම ප.ව 6.30 භක්ති ගීත ප්‍රසංගය පැවැත් වේ. 

මේ අතර ජනාධිපති ලේකම් කාර්යාලය සහ යුද හමුදාව එක්ව සංවිධානය කළ බත් දන්සල ඊයේ (30) රාත්‍රී 7.00ට ජනාධිපති කාර්යාලය අසලදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ සහ යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් ආරම්භ කෙරිණි.

දිවයිනේ නන් දෙසින් පැමිණි දස දහසකට අධික ජනතාවක් ඊට එක්ව සිටි අතර බත් දන්සල අඟහරුවාදා (2) දක්වා පැවැත්වේ.  එමෙන්ම වෙසක් සිරි නැරඹීමට කොළඹට පැමිණෙන ජනතාව වෙනුවෙන් අයිස්ක්‍රීම් දන්සලක්ද ඊයේ (30) පස්වරුවේ ජනාධිපති කාර්යාලය අසලදී ආරම්භ කෙරිණි.

හුණුපිටිය ගංගාරාම “බුද්ධ රශ්මි” වෙසක් කලාපය සහ “බෞද්ධාලෝක” වෙසක් කලාපයට සමගාමීව ජනාධිපති කාර්යාලයේ අනුග්‍රහය ඇතිව වෙසක් වැඩසටහන් රැසක් ඒ අවට සංවිධානය කර තිබූ අතර ලේකම් කාර්යාලය සහ අවට ගොඩනැඟිලි මෙන්ම මාර්ග විදුලි බුබුලුවලින් ආලෝකවත් කිරීම, වෙසක් පහන් කූඩු ප්‍රදර්ශනය ඇතුළු වැඩසටහන් රැසක් ජනාධිපති කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් පැවැත්විණි.